අගුලා‍නේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අගුලාන පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක්ව තරුණයකු මිය යාමේ සිදුවීම අගුලාන ප්‍රදේශයම උණුසුම් කිරීමට සමත් වී තිබේ. කිසි කලෙකවත් නොවන ලෙස අගුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සිද්ධියේ ඇස දුටු සාක්ෂිකරුවන් උසාවියට ගෙන්වීමට අපූරු ලෙස පොලිස් ජීප් රථයකට පටවා ගැනීමේ සිද්ධියෙන් පොලීසියට එල්ල වූ බරපතළ විරෝධය කෙළවර වූයේ අගුලාන පොලීසියට ගල් මුල් වරුසාවක් එල්ල වී පුංචි සිවිල් යුද තත්වයක් නිර්මාණය කරමිනි.

පුද්ගලයාට වෙඩි තැබීමෙන් පසු පොලීසිය ප්‍රකාශ කලේ පරීක්ෂා කිරීමට යාමේදී මිය ගිය පුද්ගලයා විසින් පෙලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් එහිදී ඇති වූ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා මිය ගිය බවත්ය. ගල් ප්‍රහාරයකට ආයුධයකින් පිළිතුරු දීමේ සාධාරණබව කොයි හැටි වෙතත් සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් ප්‍රකාශ කලේ සිදුවූයේ බහින්බස් වීමක් පමණක් බවත් එහිදී පොලිස් නිලධාරියා වෙඩි තැබූ බවත්ය.

එකී ඇස දුටු සාක්ෂිකරු නෙවන්නට මේ වන විට සිද්ධිය අපූරු ලෙස රූපාන්තරණය වී පාතාල, කුඩු ලේබල් මිය ගිය පුද්ගලයාට ඇළවී හමාර වනු ඇත. සාක්ෂිකරුවන්ගේ ප්‍රශ්නයේදීද පොලීසිය ප්‍රකාශ කලේ ඔවුන් දෙදෙනාව ජීප් රියට නංවා ගත්තේ උසාවියට ඔවුන්ව ආරක්ෂාකාරීව රැගෙන ඒමේ පරම පවිත්‍ර අරමුණින් බවය. මෙවන් මහජන හිතකාමී පොලීසියක් ලැබීම කොතරම් භාග්‍යයක්ද?

පසුගිය කාලයේ සිටම පොලිස් ප්‍රචණ්ඩත්වය ඉස්මතු වූ අවස්ථා ගණනාවක් අපට දැක ගත හැකි විය. එය යම් ආකාරයක ට්‍රෙන්ඩ් එකක් බව සියුම්ව පරීක්ෂා කිරීමෙදී පෙනේ. පොලීසියට යම් ආකාරයකට අනීතික සහතිකයක් කිසිවකුගෙන් ලැබී ඇත්ද? පොලීසි‍යේ අත්තනෝමතික බලය යෙදවී‍මේ අඛණ්ඩ විලාසිතාව පරීක්ෂා කිරීමේදී ඇසීමට සිදුවන ප්‍රශ්නය එයයි.

පසුගිය කෙටි කාල සීමාව තුළ පෙලීසිය අත්තනෝමතික ලෙස සිය බලය භාවිතා කිරීම පිළිබඳ තොරතුරු වැඩි වැඩියෙන් වාර්තා විය. එ් සම්බන්ධයෙන් බරපතළ මහජන විරෝධයක් එල්ල නොවූ අතර පොලිස් ප්‍රචණ්ඩත්වයේ පීඩාව පුපුරා ගියෙ අගුලානේදීය.

ඇඳිරි නීතිය කඩ කල තරුණයන් කිහිපදෙනෙක් දණ ගැස්වීමට පොලිස් නිලධාරීන් කටයුතු කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වූ අතර එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද විකාශය විය.

එම සිදුවීමට පක්ෂපාත වෙමින් බොහෝ දෙනා අදහස් දැක්වීම ජාතියක් ලෙස අපේ තරම කියා පායි. පොලීසියට මිනිසුන්ට අවමන් කිරීමට කිසිදු අයිතියක් නැත. දඩුවම් පැමිණවීමේ බලය ඇත්තේ අධිකරණයටය.

මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කල පොලිස් දෙපාර්තමෙන්තුව එය පසුව අකුළා ගත්තේ පොලීසියේ ඉහත කී අමන ක්‍රියාවට වඩා පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පරීක්ෂණයට සමාජ විරෝධය එල්ල වූ බැවිනි.

ඉන්දියානු පොලීසිය විසින් සිදු කරන පහරදීම් වල ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ එහා මෙහා කරමින් දරුණු පොලිස් හා මිලිටරි ප්‍රචණ්ඩත්වයකට පාර කැපුවේ ආගම වෙනුවෙන් දිවි පරදුවට තැබීමට සූදානම් අපේ සමාජයයි.

අලුත්ගම දර්ගා නගරයේදී ඔටිසම් තත්වයේ සිටි දරුවකුට පොලීසිය විසින් සිදු කරන පහර දීම යම් පමණකට හෝ සමාජය ඉදිරියේ සාකච්ඡාවකට ලක් විය. නමුත් පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි බරපතළ සමාජ විරෝධයක් ඉන් පවා ගොඩ නොනැගුණි.

මේ ආකරයේ පොලීසියේ අත්තනෝමතික පහර දීම් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෙම කෙටි කාල සීමාව තුළ ලැබී ඇති අතර ඒවා සම්බන්ධයෙන් බරපතළ සමාජ විරෝධයක් ගොඩ නොනැගීමත් එවැනි ක්‍රියා සිදු කරන නිලධාරීන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර නොගනිමින් එවැනි පියවර ව්‍යංගයෙන් සාධාරණය කර ඒවාට අනුබල දීමේ තත්වය  අගුලානේ ඝාතනයට අවශ්‍ය පසුබිම සැකසීය.

අගුලානේ පොලිසීයට ප්‍රදේශවාසීන් සිදු කරන ලද පහරදීමෙන් පසු එම ස්ථානයට ගිය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පොලීසියට පහර දුන් කාන්තාවක් විසින් නිර්භයව ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කලේ පොලීසියට ඇයත් පහර දුන් බවයි.

ඇගේ ඒ ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට නිර්ප්‍රභූ ජනයාගේ කශේරුකාව සිහි ගන්වන්නට ඇති. මීට පෙර ඉතාම ආඩම්බර‍යෙන් තෙන්නකෝන් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂනයට පහර දීම ගැන මාධ්‍ය හමුවේ  කරුණු දැක්වූයේ මහා වීරකමක් කල අයෙකු පරිදිය.

ඒ වීරත්වයට වඩා මහපොළොවට ළං වූ අගුලානේ නිර්ප්‍රභූ ජනයාගේ වීරත්වය ඇස් පනා පිට තෙන්නකෝන් මහතාට දැකිය හැකි විය.

පොලීසියේ අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට කණිෂ්ට පොලිස් නිලධාරියකුම ගොදුරු වූ පුවතක් පිළිබඳ තොරතුරුද පයාගල පොලීසියෙන් වාර්තා වූයේ පොලීසියේ බලපුළුවන්කාර ඉහළ නිලයන්ගෙන් පීඩාවට පත්වන පහළ නිලයන් ගැනද තත්වය එලිදරව් කරමිනි. පොලීසිය සැමවිටම පහර දෙන්නේ පීඩිතයාටය.

බලපුළුවන්කාර අපරාධකරුවන්ට පොලීසිය පහරදෙයිද? ශ්‍රී ලංකාව අන්ත දූෂිත කර ඇති සුදු කර පටි අපරාධකරුවන්ට පොලීසිය විසින් පහර දෙයිද? පොලීසිය විසින් පහර දෙන්නේ පීඩිත ජනයාටය. අපරාධකරුවන් අතරද පීඩිතයාටය.

නමගිය පාතාල නායකයන්ට පොලීසිය විසින් පහර දී තොරතුරු ලබා ගැනීමක් ගැන ඔබ අසා අත්ද?

ශිෂ්ට ලෝකය විසින් පොලිසිය ඇතුළු නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් සිදු කරන වදහිංසනය ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි වින්දිතයන් වන්නේ අපරාධකරුවන් පමණක් නොවන බැවින් හා දඩුවම් ලබා දීමේ ක්‍රියාවලිය වඩා පාරදෘශ්‍ය කිරීමේ අරමුණිනි.

ස්වභාවික යුක්තියේ මූලධර්ම බිහි වන්නේ තනි රාජ්‍ය බලාධීකාරය විසින් ලබා දුන් අත්තනෝමතික තීරණ වලට එරෙහිව ගොඩ නැගුනු අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මද්දුම බණ්ඩාර ඇතුඵ පිරිසට දඩුවම් දෙන්නේ තනිවම නඩු අසාය.

ස්වභාවික යුක්තියේ මූලධර්ම නොමැතිවය. මද්දුම බණ්ඩාර වැනි තවත් කොයි තරම් ප්‍රමාණයක් ඒ ක්‍රමයේ ගොදුරු වී ඇත්ද? අපට ඉතිහාසය කියා දෙන්නේ මද්දුම බණ්ඩාරව පමණි. එසේ නම් නැවතත් අප ගමන් කරන්නේ ඒ අශිෂ්ට ක්‍රමයටය. නඩු අසා ක්‍රියා කිරීමේ බලය පොලීසිය ඇතුළු රාජ්‍යයේ විධායක අංශයට ලබා දුනහොත් හෙට දවසේ බිල්ල ඔබ විය හැක.

ඔබේ දරුවා විය හැක. පොලීසියට ලැබෙන එකී අත්තනෝමතික බලය භාවිතා වන්නේ අපරාධකරුවන්ට එරෙහිව පමණක් නොවන බව ඔබ දැන්ම වටහා ගත යුතුය. නියෝජ්‍ය පොලිස්පතිලා රූපවාහිනී වැඩසටහන් වල අම්මා ගැන ගී ගැයෙද්දී හැඩුවාට සංවේදීවූවාට ඔවුන්‍ගේ පොලීසිය උදුරා ගන්නේ ඒ අම්මලාගේ දරුවන්ගේ ජීවිතයි.

බොරු ශෝ දැමිල්ලට වඩා අවශ්‍ය වන්නේ නීති ගරුක පොලීසියක් බිහි කර ගැනීමට පොලීසියේ ඉහළ නිලධාරීන් මැදිහත් වීමයි.

එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා හිංසනයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද පොලීසියට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් එක්සත් ජනපදය පුරා එල්ල විය. එය මුලු යුරෝපය පුරාම පැතිර ගිය එකක් වූයේ ඉතාම කෙටි කලක් තුළදීය. ශිෂ්ට ජනයා එවන් හිංසනයන්ට ප්‍රතිචාර දක්වන්නෙ ඒ ආකාරයටය.

එසේ විරෝධය නොදැක්වුවහොත් රාජ්‍යයේ මර්ධනයේ ඊලග බිල්ල තමන් විය හැකි බව ඔවුන් හොදින්ම දනී. නමුත් ලංකාවේ ජනයාට නම් ඒ පිළිබඳ වගේ වගක් නැත. අගුලානේ ඝාතනය දක්වා පොලිස් ප්‍රචණ්ඩත්වය දිග් ගැස්සීමට ලංකාවේ ජනයාගෙ නිහඩතාවයත් හේතු විය.

කොවිඩ් සමයේ පොලිස් පහරදීම් සාධාරණීකරණය කල ලංකාවේ බහුතර ජනයා මේ තත්වයට වගකිව යුතුය. ලංකාවේ පොලීසියට වින්දිතයන් සම්බන්ධයෙන් අපූරු ප්‍රචාර යැවිය හැක.

ඔවුන් කුඩ්ඩන්ය, අයි අර් සී කාරයන්ය, ලිංගික ශ්‍රමිකයන්ය, පාතාල සාමාජිකයන්ය. ලංකාවේ බහුතර මැද පන්තිය අපූරුවට මේ ලණු ගිලිමින් පොලිස් පහරදීම් අනුමත කරයි. රටේ විනය හදන්නට නම් මිනිසුන් පෝලිමට දණ ගැස්සවිය යුතු යැයි හිතයි.

මිලිටරියට රටම දිය යුතු යැයි හිතයි. රටේ ඇතැම් අපරාධ චූදිතයන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කලද පොලීසියට අල්ලා ගැනීමට නොහැක. රටේ මිනිස්සුන්ව කුඩ්ඩන් යැයි කියා හංවඩු ගහන්නේ එහෙව් පොලීසියය. මහමග මිනිසුන්ට වෙඩි තබන්නේ එහෙව් පොලීසියය.

ශිෂ්ට පුරවැසියන් ලෙස පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඩ නොනැගුවහොත් පොලිස් ප්‍රචණ්ඩත්වය අගුලානේදී මෙන් අපගේ මුව ලගට පැමිණෙන තෙක් නියෝජ්‍ය පොලිස්පතිලා රූපවාහිනියේ හඩමින් සංවේදී වනු බලමින් මනෝ රාජික ලෝකයක සැරිසැරීමට හැක. මනෝලෝකයෙන් අවදි වන්නේ වෙඩිල්ල පත්තු වූ විටය.

දුලාන් දසනායක

Related posts