උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිශීර්ෂ භාවිතා කරමින් රජයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචාකල බව කියන උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කලේය.

ගල්වඩුවාගම පහේ ඇල ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති දේශමාන්‍ය රත්නායක මුදියන්සේලාගේ නුවන් චාමර යන සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නඩු මෙහෙයුම් අංශය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අංක දෙක මැදවච්චිය පාර හොරොව්පොතාන ලිපිනයේ පදිංචි දඩැල්ලගේ නන්දනි කුමාරි රාජපක්ෂ මහත්මිය විසින් අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සිදුකල පැමිණිල්ලකට අනුව සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබි රාජ්‍ය අංශයේ සේවා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයන් 42 දෙනෙකුගේ නම් ඇතුලත් ලේඛණ දෙකක් මුදල් බැංකු ගතකල බැංකු කුවිතාන්සි ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂය සහිත ලිපියක් ඇතුළු ලේඛණ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණයට දැන්වුවේය.

සැකකාර සභාපතිවරයා විසින් පැමිණිලිකාර කාන්තාව සමග හිතවත් කමක් ඇතිකර ගැනිමෙන් අනතුරුව රජයේ රැකියා ලබාදිය හැකි බව පවසමින් වංචාව සිදුකර තිබෙන බවත් ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරක් තිබෙනා බවත් ඇයට පවසා තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකරු විසින් විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදිම සදහා රුපියල් 60000ක මුදලක් ඛණිජ තෙල් සංස්ථාවේ රැකියාවක් ලබාදීම සදහා රුපියල් 150000 ක මුදලක් රජයේ රෝහල් සාත්තු සේවිකා රැකියාවක් ලබාදිමට රුපියල් 40000ක මුදලක් හා රජයේ රෝහල් ගිලන්රථ රියදුරු රැකියාවක් ලබාදිම සදහා රුපියල් 150000ක මුදල බැගින් රුපියල් තිස් ලක්ෂයක් සිය ගිණුමට බැරකරගෙන තිබෙනා බව පොලිසිය අධිකරණයට කීවේය.

2016 වසරේ අප්‍රේල් සිට සැකකරු විටින් විට මුදල් සිය ගිණුමට බැරකරගෙනා තිබෙනා බවත් වසර හතරකට අධික කාලයක් තිස්සේ රැකියා ලබාදෙන බවට පොරොන්දු ලබා දුන්නත් රැකියා ලබානොදිම නිසා පැමිණිලිකාර කාන්තාව විසින් තමන් ලබාදුන් මුදල් ආපසු ලබාදෙන ලෙසත් ඒවා මුදල් ලබාදුන් අයට නැවත ලබාදිමට අවශ්‍ය බව දැන්වුවත් සැකකරු ඊට විවිධ දේ පවසමින් මුදල් ලබාදිම මගහැර ඇති බව පොලිසිය අධිකරණයට කීවේය.

ඇයගේ කරදර කිරිම මත සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ ශාන්ත පේමරත්න මහතාගේ ගිණුමකට අයත් චෙක්පතකින් මුදල පියවීමට කටයුතු කර ඇතත් එම චෙක්පත මුදල් තැන්පත් නොකිරිම නිසා අගරුවී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකරු පැමිණිලිකාරිය ගෙන් සූක්ෂමව හිස් කොල දෙකකට අත්සන් ලබාගෙන ඇති බවත් එම අත්සන සහිත කොලයක ඇයට රුපියල් විසි ලක්ෂයක මුදලක් නැවත ලබාදුන් බව කියමින් ලිපියක් ඉදිරිපත් කර තිබුණත් පැමිණිල්ල එය ප්‍රතික්ෂේප කල බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කල ලිපියේ අත්අකුරු කාන්තාවගේ අත්අකුරුද යන්න පරික්ෂා කිරිමට ලිපිය අත්අකුරු පරික්ෂකවරයාට යොමුක බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරනා බවත් සැකකරු කාන්තාව සමග දින කිහිපයකට ඉහතදි දුරකථනයෙන් කථාකල බවත් ඇය එම අවස්ථාවේ හොරොව්පොතානේ සිටිනා බව පැවසීම නිසා අධිකරණ නියෝග මත ලබාගත් දුරකථන විශ්ලේෂන වාර්ථාවකින් එම ප්‍රකාශයත් බොරු ප්‍රකාශයක් බව තහවුරු කරගත් බව පොලිසිය අධිකරණයට දැන්වු අතර පැමිණිලිකාරිය එම දිනවල ගම්පහ ප්‍රදේශයේ සිට ඇති බව වාර්ථාවෙන් අනාවරණයවු බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වුවේය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරනා විමර්ශන තවදුරටත් සිදුකර ඉදිරි දිනයේදි එහි ප්‍රගතිය වැඩිදුර වාර්ථාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කල අතර එතෙක් සැකකරු දින හතක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනා ලෙස නියෝග කලේය.

උතුරුමැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාර කේ.එල් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපත ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්ලිව්.එස් ගජසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් 77910 කුමාරසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කලේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts

Leave a Comment