කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහරගම පොලිස් වසමේ බොරැල්ල, කොට්ටාව මාර්ග අංක 174 ප්‍රධාන බස් මාර්ගයේ පොල්වත්ත මංසන්ධියේ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ  රිය අනතුරකින් එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් සුළු තුවාල ලබා ඇති බව මහරගම පොලීසියේ රථවාහන අංශය පැවසීය.
පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු පැදි තලවතුගොඩ දෙස සිට පන්නිපිටිය  දෙසට ගමන්ගත් කාර් රථය පොල්වත්ත මංසන්ධියෙන් මහරගම දෙසට ගමන් කිරීමට හැරවීමේදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදි දෙක කාර් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය  පැවසීය.
තරුණයින් පැමිණි යතුරුපැදි දෙකේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය පළමුව කාර් රථයේ ගැටී ඇති බවත් පිටුපසින් පැමිණි යතුරුපැදිය දෙවනුව ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටීමේදී  ඉදිරියෙන් පැමිණ කාර් රථය ගැටී තිබූ  යතුරු පැදියෙ ගමන් ගත් තරුණයින් දෙදෙනා විසිවී ගිය බවද පිටුපසින් පැමිණි යතුරුපැදිය තරුණයින් දෙදෙනා ප්‍රකාශ කළ බවද බවද පොලිසිය පැවැසීය.
අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ එක් තරුණයෙක් මලල්පොල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවත් අනෙක් තරුණයා මුතුහේනවත්ත, මීගොඩ ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි අයෙක් බවද පොලිසියේ පැවසීය.
අනතුරු සිදුවීමෙන් පසුව බරපතළ තත්ත්වයේ සිටි තරුණයන් දෙදෙනෙක් සහ සාමාන්‍ය තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනාද සමග ප්‍රදේශවාසීන් විසින් ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට (කලුබෝවිල රෝහලට) ගෙන ගොස් ඇති බවත් පොලීසිය පැවැසීය. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කරන විටත් එක් තරුණයෙක් මියගොස් සිටි බවත් අනෙක් තරුණයා රෝහලට ඇතුළත් කළ පසු මියගිය බවත් සුළු තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
කාර් රථය පැදවූ රියැදුරු මහරගම, පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවැසීය.
අනතුරෙන් කාර් රථයට හා යතුරු පැදියට බරපතළ අලාභහානි සිදුව ඇති බවද පොලීසිය පවසයි. යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා බීමත්ව සිටියේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත කරුණු වාර්තාකර පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමටත් නියමිත බවද පොලීසිය පැවසීය.
තරුණයින් සිව්දෙනා කුමන කාරනාවක් සඳහා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියේ දැයි යන්න පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්ත මහතාගේ අධීක්ෂණය මත රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 70832 ප්‍රදීප් යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ  – බොරලැස්ගමුව

Related posts