කුරුඳු සුවඳේ තැඹිලි රා සිරිසිරියේ..

වළා අතුල අහස හෝ ගානා. ඔහේ ඉන්න බෑ කියලා හිත කී ගානා. ඉර මූනට එබෙන්න වෙලා වැඩි වෙලාවකුත් නැතුවා. මේ ඩල් අහස යට උදේ රැයින්ම රවුමක් ගහන්න එළියට බැස්සා. මේ කාලේ කුරුඳු තැලෙන කාලේ.

ඉතිං රාළේ මිනිස්සු උදේ රැයි කුරුඳු පඳුරු හේන් ඉම සරනවා. බයිසිකලයට නැඟ්ගා විතරයි ඔන්න වැස්ස. හැබැයි මීදුම කැටිවෙලා කඩන් වැටෙන්නැහේ සැහැල්ලුවට වැටෙන යාන්තන් වැස්සක්. ඇග හිරිගඬු පිපෙන වැස්සක් ඒක. කිරි වේලාව කියලා අපේ පැරැන්නෝ කීවේ උදේට. ඒ කිරි දොවන වෙලාව නිසා.

කොහොම උනත් කිරි වේලාව පහුවෙලා එතරම් වෙලාවක් නෑ. සිරි සිරිය නිසාම ඔහේ ඕන අහක යමං කියලා හිතට කියලා බයිසිකලයට නැඟ්ගත් අන්තිමට සුසන්තයා හොයාන සුසන්ත අහා ආවා. බයිසිකලේ හඬට තමයි මිනිහා ඇහෑරියේ. කබ කඩ කඩ එළියට බහිනකොට මම බයිසිකලයෙන් බැහැලා ගෙපිළියට ගොඩවෙලා ඕන්. තැඹිලි රා බොමු.

කොහෙන්දෝ හිතට ආ මතකයක් ඔන්නොහේ අතෑරලා දැම්මා. කිසිත් බහක් නැතුව ලා හිනාවකුත් එක්ක ගේ අස්සට වැදුන සුසන්තයා පිහිය මදිනවා ඇහෙනවා. ඊට පස්සේ ඉතිං මිනිහා නැඟ්ගානෙව තැඹිලි ගහේ. ගේ මිදුලේ තැඹිලි පාටට හිනාවෙන ලපටි තැඹිලි ගහේ මල් දෙකක්ම මේ යකා හදලා. ලේසි පුතයෙක් නෙවෙයි ඕන්.

තැඹිලි රා

 

මිනිහා අඩියට දෙකට ගහ මුදුනේ. එක මලක්නම් තාම හරියට නමාගෙනවත් නෑ. අනෙක් මලනම් මුට්ටියට ඔහොක් කරගෙනමයි. හොඳටම නැමිලා රා පෙරනවා. මිනිහා උඩ ඉඳලා හිනා වෙන රා මුට්ටියේ පිපුණු පෙන පිඹිනවා.

රා සුවඳ හැම තැනම විසිරෙනවා. ටික වෙලාවකින් මුට්ටි දෙකේ රා අඩුක්කුව එක මුට්ටියකට එකතුවෙනවා. ඊළඟට මෙන්න හෙමීට ලණුවේ එල්ලිලා පහළට එනවා.

මම ආදරයෙන් දෝතට ගන්නවා. සිටි සිටියේ මූනට ඉහිරෙන රා..! සුසන්තයා සුසන්තමය මදහාසයකින් තැඹිලි මලෙන් පෙත්තක් ඉසියුම් පෙත්තක් සරස් ගා රැහැලා මල් මූන මුට්ටියට පාත් කරලා පෝර උරයක් ඔලුවට දානවා. මෙහෙම මල් දෙකටම කරලා මිනිහා අඩි දෙක පහළට එනවා. මම රා ගුඩ්ඩෙක් වෙන්න ගඩ්ඩෙක් වගේ බලං ඉන්නවා.

‘මේක හරි ලේසියි මචං. බෙහෙත් බඳින්න මල තලන්න කියලා මොකවත් නෑ. මල කපන්න තියෙන්නේ. මල උඩට එන්න එන්න හෙමිහිට කඩාගන්නේ නැතුව පාත් කරලා හදාගන්නයි ඕනී. එක මලක් නම් දැන් ඉවර වෙන්න ළඟයි. හැබැයි ඒකට දැන් අලුත් මල සරුයි. මල් කපන්න කපන්න මෙයා ඉක්මනට ඉක්මනට මල් තියනවා උඩින්’

ගහ උනත් අපි මේම මේම රා බොනවට කැමති ඇති. මම කියනවා. හික් හික් ගාලා මිනිහා හිනා වෙනවා. පොද වැස්ස මහා වැස්සක් වෙනවා. සුසන්තයා ඒ අස්සේ පෙනේරයෙන් රා පෙරනවා. ‘රා ගුඩ්ඩෝ ඉන්නෙක හොඳයි’ . දඟලන රා පණුවෝ ගැන සුසන්තමය අදහස ඒක. රා ටිකනම් මල් හතයි වගේ. ඉහිරෙන ඉහිරිල්ලට බලන් ඉන්නත් බෑ. ඒකට ඉතිං මේ යක්සයා මේක ලෑස්ති බෑස්ති කොරලා දෙනකම් ඉන්න එපැයි.

අසෝකා වීදුරුවකුයි පත්තර කොළයක් උඩට වැටුණ ලුණු කැට ටිකකුයි ගෙයින් පිළට එනවා. ඔන්න රජෝ දැන්නම් වැඩේ හරි.. මගේ හිත කියනවා.

‘ බීලා බලනවකෝ’

 

ආයි මක්කැයි.. මම ගුඩු ගුඩු ගාලා අසෝකා වීදුරුව කටට හලාගන්නවා. බියර් සිප් කරනවා වගේ බීලා කොරලා හරියන්නේ නෑ මේක. එක සුස්මට පටස් ගාලා ගසලා දාන්න ඕනෑ. එහෙමයි රා බොන්නේ. බොනකොට නහයට සටසට ගාලා රා පනිනවා. ඒක ඉසියුම් කිතියක් හොඳ ද..!

පැණි රහායි.. මම කියනවා.
‘ඔව්.. තැඹිලි රා පැණි රහයි. මේ ගහේ රා බෝතල් දෙකක් බිව්වෙ නෑ කවුරුවත්.. තමුසේට පුලුවන් වෙයි’

මේ යස්සයා රා මුට්ටියට මගේ ඇගේ ගැහුවේ එහෙමයි. මාත් ඇරියේ නෑ. ලුණු කැට කටගැස්ම එක්ක රා පැණි රසේ බීගෙන බීගෙන ගියා. අසෝකා වීදුරු දෙක ගහනකොට කරන්ට් එකක් එනවා. අම්මෝ කියලා. අන්තිමට කොහොම හරි රා මුට්ටියටම වග කීවා.

පොල් රා සැරයි කියනවා නේද? අපේ පැත්තේ නම් එක පොල් ගහකින් රා බොන්නෙත් නෑ.. මම අවසන් බින්ඳුව බොනගමන් කීනවා.

‘ඔව් ටිකක් සැරයි. තැඹිලි ඊටත් සැරයි. බියර් එහෙම වගේ නෙවෙයි දවසම අල්ලලා හිටිනවා’ ඔන්න සුසන්තයාගේ උත්තරේ.

රා බොනවනම් ඉතිං ඌරු මස් තියෙන්න ඕනෑ. මඤ්ඤොක්කා තියෙන්න ඕනෑ. ම්ම්ම් එහෙමයි රා බොන්න ඕනෑ. මේක අවලන් බීමක්. සික්.. මම එහෙම හිතනවා. ඒත් ඉතිං මෙහෙම උදේ හිස් බඩම රා වීදුරුවක් රසට රසේ බොන්න තියෙනවා කියන්නේ පින තමයි පින.. ආයිත් එහෙම හිතෙනවා.

වැස්සත් අහවරයි. ටිකක් එළියත් එක්ක. මේ රා මත යන්න නැත්තං ටිකක් වැඩි වෙන්න හුළං වදින්න ඕනෑය කියලා මාඳු ගඟ පැත්තට බයිසිකලය හැරෙව්වා.

 

මාඳු ගඟ කවිය

මාඳු ගඟ කියන්නේ කවියක්. ඔහේ බලාගෙන ඉන්න සර සරැලි නඟන, වෙලාවකට සයුර හා මුහුව ඉන්න වෙලාවකට සයුර හා තරහා වෙලා ඔහේ ඉන්න කවියක්, ඒක. මෙහෙම රා ගුඩ්ඩෙක් වගේ රා බීලා ගඟ අහට ගිහිං ගඟට මූන හරෝගෙන ඉන්න මමත් එතකොට කවියක් තමයි.

මාඳුගඟ තියෙන්නේ කරණ්දෙණිය, බලපිටිය, අම්බලන්ගොඩ කියන මැතිවරණ බලප්‍රදේශ වලට මායිම් වෙලා. වැඩි හරියක් අයිති කරණ්දෙණියට. මාඳු ගඟට දිය සිසිල දෙන්නේ මාඳු ගඟ වට කරගෙන ඉන්න කුරුඳු කැලෑ. කැලෑ කීවට මේවා සරු කුරුඳු යායවල්. මේ කාලේ ගොඩක් කුරුඳු වතු කැපිලා. රතු දළු කුරුඳු ලපැටියෝ මතුවෙලා.

කොරෝනා කාලේ කුරුඳු තලන්නන්ට සෑහෙන ආර්ථික ප්‍රශ්න තිබුණා. දැන්නම් ඒවා ටික ටික හොඳ වේගන යනවා. කුරුඳු කිලෝ එකක් රුපියල් 1500ට වත් දීගන්න බැරිව ලතවුණ කාලේ ඉවර වෙලා.

සාමාන්‍ය කුරුඳු කිලෝවක් ආයිත් රුපියල් 2000හේ සීමාව පහු කරලා. කරණ්දෙණිය කියන්නේ අතීතයේ ඉදලාම සරුසාර කුරුඳු වලින් විශාල විදේශ විනිමයක් අරගෙන ආපු පළාතක්. හැබැයි එහෙම උනාට මේ ප්‍රදේශයට සංවර්ධනය ආවේ සෙමෙන්. ඒකට හේතුවක් තිබුණා.

ඒ හේතුව තමයි කරණ්දෙණියේ බහුතරය දේවවාංශිකයින් වීම. මේ හින්දාම ගාල්ලේ පිලිකන්න උනේ කරණ්දෙණිය. හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් නිසා තමයි කරණ්දෙණියට එළියක් ආවේ.

මිනිහා තමයි තමන්ගේ දේවවාංශිකයින් කළඑළි කළේ. හැබැයි ඉතිං අන්තිමට මිනිහට කරණ්දෙණියේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවත් වෙන්න බැරිවුණා. ඒකට හේතුව ඉතිං පොහොට්ටු වහල් දේශපාලනය මේ මිනිස්සුන්ගේ හිත් අස්සේ ඕනෑවට වඩා පැලවීම. මොන සංවර්ධනය ගෙනාවත් මක්කටෙයි ඒ මිනිහා රාජපක්ෂ ලාගේ කෙනෙක් නොවෙයි නම්..!

කිරල කකා වතුර බිබී ඔරු පදිතෙයි    මාගලට
බඩගිනිවෙලා ගොඩනැඟුණයි ගෙදරකට
ඉන්නල ගෙඩි දෙකක් දුන්නයි කොළපතට
පණ ඇතිතුරා ඔරු නොපදින් මාගලට

මාත් ඉතිං මාගලින් හැරුණා ගඟ අහට. ඉන්නල නැතිනම් රටල කියන්නෙත් කරණ්දෙණියට සුවිශේෂ කෑමක් මහිතේ. කුඹුරුවල ලියැද්දක් දෙකක් උස් කඳු දාලා ඉන්න හිටෝන එක මෙහේ සිරිතක්. ඉතිං ඉන්නල කන්න උන අමාරුව ගැන මේ ජනකව ඇත්තක්. මමනම් ඉන්නල කන්න මනාපයි.

කුරුඳු අත්


පැණි පාට කහට පැල්ලම් පදාස සිනිඳු සුසිනිදු ගැහැනු අත්වලත් මෙහේ අරුමයක් නෙවෙයි. ඒ ගැහැනු පිරිමි බාල මහළු හැවෝම හරි හරියට කුරුඳු තලන නිසා. කහට පැහැ ඇගිලි කොපුව ඇගිල්ලට දාන්නේ කුරුඳු පතුරු ගහෙන් වෙන්කොරන තලන කොකැත්තට ඇගිලි මස දිය නොවෙන්න. කොකැත්ත කොට කැත්ත කියන එක ද මන්දා. කුරුඳු ගහේ සිවිය නැත්ත උඩ පොත්ත අයින් කරලා යට තැඹිලි පොත්ත මතුකරගන්න පාවිච්චි කරන ආයුධයට කියන්නෙත් කොකැත්ත. හැබැයි ඒක ගාන කොකැත්ත. සවුත්තුව කියලා ගාන එකකුත් තියෙයි. මේකෙන් ගාන්න ලේසියි. හැබැයි කුරුඳු පොත්ත සවුත්තු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතිං ඒක සවුත්තුව.

ඇත්තට කියමි හොඳ කරුණක් දැනගන්න
වත්තට ආපු පලියට ගස් නොකපන්න
කැත්තට වැඳලා තම සුරතට අරගන්න
පෙත්තට මුල කපනු මත්තට පැලවෙන්න

මෙහේ මෙහෙම කුරුඳු කවිත් තියෙයි ඕන්. කුරුඳු ගස් කපන කැත්ත කියන්නේ වෙන කිසි වැඩකට නොගන්න හොඳටම මූවාත තියෙන ආයුධයක්. වන්ෂොට් කුරුඳු ගහා පෙත්තට කැපෙන්න ඕනෑ. නැත්තං පැල එන්නේ නෑ. ළූනු මිරිස් මොකවත් මේ කැත්තෙන් කපන්නේ නැත්තේ එහෙම කැපුවොත් ඒ සැරට පැල නොඑයි කියන බයට. හැබැයි ඉතිං අරෝවක් උනාම මේ කැති මිනිස්සුන්ගේ බෙලිත් කපලා දාන වෙලාවල් තියෙනවා.

කුරුඳු කයිය එක්ක මාඳු ගඟටම ආවා. කරණ්දෙණිය පුරාණය ගැන ඕනෑ තරම් කයි ගහන්න පුලුවන්. අපි ඒක මතුවට තියමු. දේවවාංශිකයින් ගේ ජනමූල ඉතිහාසය වෙන වෙලාවක අපිට හොයා බලන්න පුලුවන්.

මාඳු ගඟ කොමළිය හිනා වෙනවා. මම මගේ මාඳු ගඟේ මිත්‍රයා සුමිතා එනකම් ඔහේ ඉන්නවා. මේ දවස්වල වැස්ස නිසා ගඟ ටිකක් ඉදිමිලා. ගුඬුස් ගුඬුස් ගාලා රා උෂ්ණේ උඩට එනවා. ඒ අස්සේ සුමිතත් එනවා. මචං මට ඉස්සෝ ටිකක් කන්න ඕනෑ. මම කියනවා. තැඹිලි රා උඩට ඉස්සෝ වීසි කළාම කොහොමට හිටියි ද? පොඩි බයකුත් එනවා.

‘වැස්සට ඉස්සෝ කොටු සේරම කඩාගෙන ගිහිං. ගෙදර ඇති ලොකු කොරලියෙක්. හදලා පාන් ගෙඩියක් ගේමු’. ඉස්සෝ කෑමේ හදිස්සි දොල තඩි කොරලියෙක් හින්දා සිඳිලා ගියා.

කෑලි මිරිස් එක්ක තුනපහා කර කරලා පදමට ඇබුල් තියලා පොල් කිරි හොද්දේ මාළුවා ටිකක් නටවලා ගත්තාම කොරලි මාළුව කියලා කියන්නේ තෙල් දාපු හෙරළි මාළුවට වඩා රහයි.

මාළුව කියලා ඉතිං සපරගමුව පැත්තේ කියන්නේ ව්‍යැංජන වලට තමයි කියලා අමතක කරන්න එපා. ඔන්නොහොම තමයි ඉතිං තැඹිලි රාවලින් පටන් ගත්ත රා උදැහැනැක්ක දාවලට හැරුණේ.

යමං පුතා

Related posts