කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ –  වෛද්‍ය හරිත අලූත්ගේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ නේද?

කන්දකාඩුවලින් දැන් පැහැදිලිවම පොකුරක් මතු වුණා. ඒකෙදී අසාමාන්‍ය විධියට කෙටි කාලයක් ඇතුළත විශාල සංඛ්‍යාවක් පොසිටිව් වුණා. ඒ නිසා මේක කන්දකාඩුවලට අද ඊයේ ආ දෙයක් නෙමෙයි කියන දේ අපිට දැන් උපකල්පනය කරන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලසීමාවක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළේ වෛරසය තිබිලා තියනවා. එතැන රෝගය හැදිලා හොඳ වුණු අය ඉන්නවා ද කියලා ප‍්‍රතිදේහ පරීක්ෂාව කළොත් සොයා ගන්න පුළුවන් වෙනවා. ඒ තැන්වල සිටි හත්සිය ගණනෙන් හාරසිය ගණනක් දැන් පොසිටිව්, ඉතිරි අයට දැන් රෝගය හැදිලා හොඳවෙලා ද දන්නේ නැහැ. කන්දකාඩුවල ගොඩක් අයට පහුගිය කාලයේ උණ, හෙම්බිරිසාව වගේ රෝග ලක්ෂණ තිබිලා හොඳවෙලා ගිය බව කියනවා. ඊට පස්සේ මේක එළියට එන්නේ වැලිකඩ සිදුවීම එක්කයි.

 

මේ දින කීපය ඇතුළත ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් කොවිඞ් රෝගීන් ගණනාවක් වාර්තා වීම සිදුවුණා. මේ තත්ත්වය මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඇතිවූ රෝගී පොකුරෙන් ව්‍යාප්ත වූවන්ට අමතරව සමාජය තුළ තවත් හඳුනා නොගත් රෝගී පොකුරු සිටිය හැකිද?

දැනට අපි ඒ ගැන අනාවැකි කියන්න කල් වැඩියි. දැනට සමාජය තුළ යම් මට්ටමක පොකුරු කීපයක් නිර්මාණය වෙලා තියනවා. උදාහරණයක් විධියට රාජාංගනයේ පොකුර පැහැදිලි පොකුරක්. ඒ වගේම ලංකාවේ තැන් තැන් වලින් තවත් රෝගීන් වාර්තා වෙනවා. හෝමාගම, ගොඩගම, හබරාදුව, තංගල්ල, ලංකාපුර, කුණ්ඩසාලේ, දෙහිඅත්තකණ්ඩිය ආදී වශයෙන් තැන් තැන්වලින් රෝගීන් කීපදෙනා බැගින් වාර්තා වෙනවා. මීට කලියෙන් මේ වගේ ලොකු පොකුරක් ආවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. ඒ අවස්ථාවේ ඒක විශාල ප‍්‍රමාණයකට ආසාදනය වුණත් ඒක සමාජය තුළට නොයා පාලනය කරගන්න හැකි වුණේ ඒ වෙද්දී ඇඳිරි නීතිය දාලා සංචරණ සීමා පනවලා මිනිස්සුන්ගේ ගමන් බිමින් සීමා කර තිබුණු නිසයි. නමුත් දැන් තිබෙන තත්ත්වය ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා දැන් සමාජයෙන් රෝගියෙක් හමුවුණොත් සමාජය තුළට ව්‍යාප්ත වෙන්න තියන අවදානම සෑහෙන ගුණයකින් වැඩියි. ඒ නිසා මේ තත්ත්වය හොඳටම කළමනාකරණය කරගත්තේ නැත්නම් සමාජ ව්‍යාප්තියක් දක්වා යෑමේ අනතුරක් මේ වෙලාවේ තියනවා.

 

ඇඳිරි නීතිය ඉවත් කර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගැනීමේ දී ක‍්‍රියාත්මක කළ යුතු සැලැස්මක් සකස් කර තිබුණා නේද? ඒවා ක‍්‍රියාත්මක නොවෙන්න හේතු මොනවා ද?

මේකෙ අවදානම සැලකිල්ලට ගෙන රට වහන්න කියන දේ මුලින්ම යෝජනා කළා වගේම නැවත රට විවෘත කිරීම සම්බන්ධයෙනුත් අපි යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණා. හැමදාම රටක් වහගෙන ඉන්න බැහැ. ඒ නිසා රට විවෘත කිරීමේ සැලැස්මක් අපි අප්‍රේල් 4 වන දා ඉදිරිපත් කළා. රට විවෘත කළාට පරණ තත්ත්වයට අපිට යන්න බැහැ කියන දේ අපි ඒකෙ දී කිවුවා. මේක ගෝලීය වසංගතයක් නිසා මේ තත්ත්වය අවුරුද්දක් දෙකක් හෝ තුනක් තිබිය හැකියි. ඒ නිසා අපිට යන්න වෙන්නේ පරණ තත්ත්වයට නෙමෙයි නව සාමාන්‍ය තත්ත්වයකට යි. රට සාමාන්‍යකරණයත් එක්ක රටේ අවදානම තක්සේරු කළ යුතුයි කියන දේ අපේ යෝජනාවලියේ එක් ප‍්‍රධාන කාරණයක් වුණා. ඒ සඳහා රටේ සියලූ ප‍්‍රදේශ ආවරණය වන පරිදි අහඹු නියැදි තෝරාගෙන ඒ අහඹු නියැදිවල පීසීආර් පරීක්ෂණ කර ඒ ඒ පළාත්වල අවදානම තක්සේරු කළ යුතුයි කියන දේ එහි යෝජනා වුණා. කොහේ හෝ ප‍්‍රදේශයක මේ වෙලාවේ තියන අවදානම තක්සේරු කරන්න පුළුවන් හොඳම විදිය අහඹු නියැදි පරීක්ෂණ කිරීමයි. නමුත් අවාසනාවන්තම දේ අද වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට දක්වන උනන්දුව අවමයි. අපි ලොකු සාකච්ඡා  කළා, විවිධ දේ කළා, ඒ හැම එකක දී ම පීසීආර් පරීක්ෂණ වැඩි කරන්න එකඟ වුණත් තාම දවසකට පීසීආර් පරීක්ෂණ එක්දහස් පන්සියයක් පමණ ප‍්‍රමාණයක් නම් කරන්නේ අපි ඉන්නේ කොතැන ද කියන ප‍්‍රශ්නය තියනවා. ඉන්දියාවත් පීසීආර් පරීක්ෂණ හොඳටම කරන රටක් නෙමෙයි වුණත් ඉන්දියාවේත් අහඹු නියැදි පරීක්ෂණ කළා. ඒ අනුව සමස්ත ඉන්දියානු ජනගහනයෙන් 0.73%කගේ ශරීරවල වෛරසය තියනවා කියලා ඒ අය අනුමාන කරනවා. දැනට වාර්තාවෙලා තියන ගණනට වඩා මිලියන තිහක් පමණ ඇත්තටම රෝගීන් ඉන්නවා කියලා ඒ අය අනුමාන කරනවා. අපේ රටේත් ඒ දේ කළා නම් අඩුම ගණනේ අවදානම තක්සේරු කරන්න තිබුණා.

දෙවැනි ප‍්‍රධාන කාරණය වුණේ සක‍්‍රීය ලෙස රෝගීන් සිටින කලාප, රෝගීන් වාර්තා නොවූ කලාප සහ ඒ දෙක අතර රෝගය සම්ප්‍රේක්ෂනය වීමේ අවදානමක් සහිත කලාප ලෙස කලාපවලට වෙන් කරන්න කියන දේ යි. ඒකටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරි නිර්දේශ ආවේ නැහැ. අපි වෘත්තීය සමිතියක් නිසා අපිට කරන්න පුළුවන් යෝජනා කිරීම, මහජනයා දැනුවත් කිරීම, මාධ්‍යයට දැන්වීම හා දේශපාලන අධිකාරියට කියන එකයි. නමුත් මේකේ තාක්ෂණික තීන්දු තීරණ ගන්න ඕනෑ අය ඒවා ගැනීමේ දී දැක්වූ අකාර්යක්ෂමතාව අපි මුල සිට අද දක්වාම දකිනවා.

 

රෝගීන් වාර්තා වන ප‍්‍රදේශ හෝ රට නැවත ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් එම සැලසුම්වල තිබූ කරුණුවලට අනුව දැන් ක‍්‍රියාත්මක විය යුතුව තිබෙන්නේ කොහොමද?

‘හැමර් ඇන්ඞ් ඩාන්ස්’ තියරි එක කියන්නේ මේ ගෝලීය වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන මධ්‍යස්ථානයක් වන ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කළ න්‍යායක්. එහි කියන්නේ මේක මිටියකින් තලලා පාලනය කළත් කොයි වෙලාවේ හෝ ඩාන්ස් එකක් වගේ උඩට මතුවෙනවා. ඒ කියන්නේ තැන් තැන්වලින් රෝගීන් මතුවෙනවා. රට විවෘත කිරීම එක්ක කොහෙන් හෝ රෝගී පොකුරු මතු වුවොත් ක‍්‍රියා කළ යුතු ආකාරය ඒ තියරි එක අනුව අපි එදා අපේ වාර්තාව ජනාධිපතිතුමාට සහ අමත්‍යාංශයට දෙන අවස්ථාවේ කිවුවා. එයට අනුව රෝගී පොකුරු මතුවන ප‍්‍රදේශ වහා ක‍්‍රියාත්මක වන පරිදි ලොක්ඩවුන් විය යුතුයි. උදාහරණයක් ලෙස රාජාංගනයේ රෝගීන් වාර්තා වන ග‍්‍රාමනිලධාරී වසම් ටික හුදෙකලා කළ යුතුයි. ඒක දැන් කළ යුතුයි.

 

සමාජ දුරස්ථභාවය වැඩි කළ අවස්ථාවට වඩා ඇඳිරි නීතිය ඉවත්කර සමාජ දුරස්ථභාවය අඩු කිරීම සිදුවූ පසු තිබෙන්නේ අවදානම් කාලයක්. එහෙම කාලයක තිබෙන තත්ත්වයන් සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු වුණත් කොවිඞ් සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව ඒ කාලයේ රැස් නොවෙන්නේ ඇයි?

ඒක තමයි ප‍්‍රධානම හේතුව. මේක සෞඛ්‍යමය ප‍්‍රශ්නයක් නිසා සෞඛ්‍ය නොවන අංශවලට මේකෙදී තාක්ෂණික තීන්දු තීරණ ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ තාක්ෂණික තීන්දු තීරණ අරගෙන තමයි හමුදාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ක‍්‍රියාකාරී කමිටුවට යා යුතු වන්නේ. මුලින්ම එහෙම තාක්ෂණික කමිටුවක් තිබුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අඩුපාඩු වැරදිත් කතා කරන්න සිදුවුණේ හමුදාපතිවරයාගේ කමිටුව වන කාර්යාසාධක බලකායේයි. ඒ නිසා තාක්ෂණික කමිටු තීරණ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සාකච්ඡා විය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත් කරන්න කියලාත් අපි යෝජනා කළා. ඒ කාලයේ සතියකට දෙවතාවක් වගේත් රැස්වුණු අවස්ථා තිබුණත් රට සාමාන්‍යකරණයට පත් කිරීමත් එක්ක තාක්ෂණික කමිටුවත් කොහේ ගියා ද කියලා නැති වුණා. ඒක රැස් කළේ නැහැ. රටේ මතුවිය හැකි ප‍්‍රවණතාවන් සම්බන්ධයෙන් වෙනදාටත් වඩා තාක්ෂණික කමිටුව අවධානය යොමු කළ යුතුයි. අපි දිගටම ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක රැස් කළේ නෑ. අපි ලිඛිතවත් ඉල්ලීම් කළා. මාස එකහමාරකට පස්සේ නැවත තාක්ෂණික කමිටුව රැස්වුණේ පහුගිය සෙනසුරාදායි. තාක්ෂණික කමිටුව නොතිබීම මේ ගැටලූ මතුවීමට ප‍්‍රධාන කාරණයක් විදියට අපි දකිනවා. එදිනෙදා සිදුවන අපහැදිලි තැන් පැහැදිලි කරන්න, ජයවර්ධනපුර පරීක්ෂණ සම්බන්ධයෙන් ඇතිවූ ප‍්‍රශ්නය, පොසිටිව් ඒවා නෙගටිව් වීම වැනි ප‍්‍රශ්න සහ එහෙම වෙන්න පුළුවන් හේතු ගැන මිනිස්සුන්ට නිවැරදි පැහැදිලි කිරීම් නැති නිසායි වැරදි තොරතුරු සමාජගත වෙන්නේ. ඒ නිසා ඒවායේ දී මොකද වුණේ කියන දේ රටට පැහැදිලි කරලා නැහැ.

 

මේවාට හේතුව දෙශපාලනඥයන්ට මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය සකස් කරන්න සෞඛ්‍ය අංශත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමද?

සෞඛ්‍ය අමාත්‍යාංශයට තීරණය කරන්න පුළුවන් මැතිවරණය සඳහා මාර්ගෝපදේශ මොනවා ද කියන දේයි. ඒ හැර ඒ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයට ප‍්‍රශ්නයක් තිබෙන්න විදියක් නැහැ. මැතිවරණය හෝ පාසල් පටන් ගැනීම හෝ කර්මාන්තශාලා පටන් ගැනීම වෙනුවෙන් හෝ වේවා අපි තීන්දු තීරණ දෙන්න ඕනෑ සෞඛ්‍ය සම්බන්ධවයි. ඒ නිසා මැතිවරණය සම්බන්ධයෙන් ගැටලූවක් තියෙන්න විදියක් නැහැ.

 

ඇතැම් පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලූකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙනවා. මේ තත්ත්වය පිළිබද පැහැදිලි කිරීම මොකක්ද?

දැනට තිබෙන රසායනාගාර වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් එන්න ඕනෑ. මොකද මම දන්නා තරමින් තවම ලංකාවේ පීසීආර් පරීක්ෂණ කරන රසායනාගාර එකක්වත් සම්මතකරණයට යටත් කරලා නැහැ. රසායනාගාරවල ගුණාත්මකභාවය වැඩි කරන්න නම් එහෙම ප‍්‍රමිතිගත කරන්න ඕනෑ. ජයවර්ධනපුරදී පොසිටිව් වෙලා ඒක එම්ආර්අයි එකේ නෙගටිව් වෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසූ වෙලාවේ ඔහු සියලූ ප‍්‍රායෝගික ගැටලූ ඉදිරිපත් කර කියා සිටියේ හොංකොංවලින් කණ්ඩායමක් එනවා, ඒ එක්ක සම්මතකරණය කරනවා කියලා යි. නමුත් මම දන්නා තරමින් තවම ඒක සිදුවෙලා නැහැ. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම මේ රසායානාගාර ටික ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව වැඩි දියුණු වෙන්න ඕනෑ සහ ඒ එක්ක සම්මතකරණයට ලක්වෙන්න ඕනෑ. එතකොට අනුරාධපුරයේද, මඩකළපුවේද, කරාපිටියෙද, මහරගමද කොහේද කියන දේ අදාළ නැතිව සෑම තැනම ඒකාකාරීව විශ්වාසය තියන්න පුළුවන්. ඒක තවම වෙලා නැති එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අඩුපාඩුවක් ලෙස අපි දකිනවා.

 

නව ජීවන රටාවක් උදෙසා ආදී වශයෙන් විවිධ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කර තිබුණත් ඒවා ප‍්‍රායෝගිකව සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. ඒවා ක‍්‍රියාත්මක වන්නේ තරාතිරම අනුව පමණක් බවට පූර්වාදර්ශත් ඉදිරිපත් වුණා. දැන් ඇතිව තිබෙන තත්ත්වයට මේ වැරදි පූර්වාදර්ශ සැපයූ අයත් වගකිවයුතු නැද්ද?

තොණ්ඩමන් මහතාගේ මළගෙදර සහ රටේ නායකයෝත් සහභාගි වුණු මැතිවරණ රැළි අපි දැක්කා. ඒක නොවිය යුතු තත්ත්වයක්. අඩුුම ගාණේ හැමෝම දැන්වත් තේරුම් අරගනියි කියලා අපි හිතනවා. මේකෙ දී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය සහ ජනතාව යන හැම කණ්ඩායමක්ම කලින් දැක්වූ කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ එක කණ්ඩායමකටවත් මෙතැන දී අත පිහදාගන්න බැහැ. එහෙම වුණොත් ජය ගන්නේ මේ රෝගයයි.

 

මේ මාර්ගෝපදේශවලට කිසිදු නීතිමය පසුබිමක් නොතිබීමත් දැන් පවතින ගැටලූකාරී තත්ත්වය නිර්මාණය වෙන්න හේතු වෙනවා නේද?

රට විවෘත වන විට විවිධ ස්ථානවලට අදාළව වෙන වෙනම හතළිස් ගණනක් මාර්ගෝපදේශ මාලා සකස් කළා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ ඒ එකක්වත් රටේ නීතියට ඇතුළත් වෙලා නෑ. ඒ නිසා මාර්ගෝපදේශ තිබුණාට ඒවා අනුගමනය කළේ නැත්නම් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න නම් ඒවා රටේ නීති බවට පත්වෙන්න ඕනෑ. එතැන තමයි අඩුව තියෙන්නේ. දෙවැනි රැල්ලක් මතුවෙන්න පුළුවන් තැන් හතරක් ගැන අපි කතා කළා. එකක් පොදු ප‍්‍රවාහනය. දුම්රිය සහ බස්වල මේවා හරියට ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුවන්තොටුපොළත් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අවදානමක් තියනවා. තුන්වැනි එක පාසල් විවෘත කිරීම එක්ක එන අවදානම, හතරවැනි එක මැතිවරණය ඡන්ද රැස්වීම් එක්ක එන අවදානම. ඒ හතර කළමනාකරණය කරගන්න නම් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි. මේක තවදුරටත් ප‍්‍රමාද නොකර ගැසට් කරන්න කියලා ජනාධිපතිතුමාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළා. ජුනි මාසේ මුල හැදුව මාර්ගෝපදේශ තවම ගැසට් කරන්න බැරි වුණ එක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. මේ හරහා ලබාදෙන බලය අයුතු ලෙස භාවිත වෙයි කියලා සමහර අයට ගැටලූවක් තියනවා. එහෙම වෙන්නේ බලය තනි පුද්ගලයෙකුට ගියොත් විතරයි. යම් අධීක්ෂණයක් යටතේ බලය දෙනවා නම් එවැනි දේ සිදුවෙන්නෙ නැහැ. ඒක මේ සතිය ඇතුළත ගැසට් වෙයි කියලා හිතනවා. නමුත් මේ ප‍්‍රමාදය හොඳ නැති බව අපි පිළිගන්නවා.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි – රාවය

 

Related posts

Leave a Comment