ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්

අනුරාධපුර ගල්කඩවල ගම්මානයට යාමට ඇති එකම මාර්ගය සම්පූර්ණයෙන් අබලන්වී ඇති බවත් මාවත කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් බලධාරීන්ට බලකරමින් එහි කෙසෙල් පැල සිටුවා ගම්වැසියන් විරෝධතාවයක නිරතවූහ.

අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ථෙතිහාසික ජේතවනාරාමය අභයගිරිය චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගඩොල් ලබාගත් දැනට ඉදිකෙරෙනා සඳහිරුසෑයට ගඩොල් ලබාගන්නා කටුකැලියාව හා පානීයං කඩවල ඇතුළු ගම්මාන රාශියකට යන මාර්ගය පිලිසකර කර දෙන ලෙස ඔවුන් ඉල්ලුහ.

දිනපතා ගඩොල් ලොරි විශාල ප්‍රමාණයක් මාර්ගයේ ගමන් ගන්නා අතර මාර්ගය අබලන්වීම නිසා දැඩි අනතුරුදායක තත්වයක් ඇති බව විරෝධාතාකරුවන් පෙන්වා දුන්හ.

විරෝධතාකරුවන් පැවසුවේ හදිසි රෝගියෙකු රැගෙන යාමට ගිලන් රථයක්වත් ගම්මාන වලට නොපැමිණෙන බවයි.විශාල වලවල් හෑරි එහි වැසි ජලය පිරීම නිසා පයින් ගමන් කිරීමටවත් නොහැකි බව ඔවුන් කීහ.

නගරයට ගමන්කරනා එකම බස් රථයත් ගමන් කරන්නේ දැඩි අසීරුවෙන් බව බලධාරීන්ට කොතෙක් දැන්වූවත් වසර 15කින් වත් මාර්ගයේ අළුත්වැඩියාවක් සිදුකර නොමැති බව විරෝධාතාකරුවන් පැවසූහ.විරෝධතාවය සැලවි එහි පැමිණි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ලක්මාල් සෙනවිරත්න ප්‍රකාශ කළේ දැනට පවතින වලවල් බොරලු දමා තාවකාලිකව සකසා දෙන බවයි.

2021 වසර තුළ අබලන්වු මාර්ගය සම්පූර්ණයෙන්ම ස්ථිරවම සකසා දෙන බවට  ප්‍රාදේශිය ලේකම්වරයා දුන් පොරොන්දුවට අනුව විරෝධතාකරුවන් විසිර ගියහ.විරෝධතාවයෙන් පසුව එහි පැමිණි අනුරාධපුර සදහිරුසෑය ව්‍යාපෘතියේ සේවයේ නියුතු යුදහමුදා නිලධාරින් ප්‍රධාන මාර් ගයේ ඇතිවි තිබු විශාල වලවල් පස් පුරවා වසාදැමූ අතර ඊයේ (29දා) වනවිට මාර් ගය තාවකාලිකව යථාතත්වයට පත්වි තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts