ජනාධිපති ගෝඨාභය ෆේල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය ෆේල්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් “ස” ෆේල් ප්‍රචාරණ ක්‍රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට හිතවත්බව පෙන්වමින් ආණ්ඩුවට ඍණ ප්‍රචාරයක් ලබාදුන් ශීර්ෂ පාඨයක් විය. අසමත් නැතිනම් ෆේල්ය කීම ගැන ඔය තරම් කලබල විය යුතු නැත.

මේ අන්දමින්ම කලබල වූ තවත් ආධුනික දේශපාලකයකු වූ රාජ්‍ය ඇමති චන්න ජයසුමන එය රාජ්‍ය නොවන සංවිධාන වැඩක් බව ද කියමින් පැරණි දේශප්‍රේමී, දේශද්‍රෝහී බෙදීම තුළ ආණ්ඩු විරෝධීන්ට එරෙහි සමාජ වෛරය ප්‍රවර්ධනය කරන්නට උත්සාහ කළේය. ආණ්ඩුව අසමත් නැතිනම්, එතරම් වෛරයකින් මේ ෆේල් කතාවට ප්‍රතිචාර දක්වන්නට අවශ්‍යද?

කොවිඩ්-19 හමුවේ ලොව බොහෝ රාජ්‍ය අසමත් වී තිබේ. ඒ අනුව බැලූ කල ශ්‍රී ලංකාව නරකම ස්ථානයක නැති බව අප පිළිගත යුතුය. දෙවෙනි කොරෝනා රැල්ල පවා යම් පාලනයකට නතු කරගැනීමට රජය සමත් වී තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මහජනතාවගේ කැපකිරීම් බව ආණ්ඩුව අමතක කළ යුතු නැත.

එහෙත්, ලංකාවේ දෙවෙනි කොරෝනා රැල්ල මතු වූයේ ආණ්ඩුවේ අසමත්කම නිසා බව ඉතා පැහැදිලිය. අසල්වැසි ඉන්දියාවේ පවා කොවිඩ්-19 වේගයෙන් පැතිර යමින් තිබියදී, පීසීආර් පරීක්ෂණ පවා අවම කරදමා තිබුණු ශ්‍රී ලංකාව සාක්ෂි මත පදනම් නොවූ අන්ධ විශ්වාසයකින් රට සාමාන්‍යකරණය කරමින් සිටියේය. කොවිඩ්-19 නිවාරණය සඳහා කිසිදු විධිමත් සූදානම් කිරීමකින් තොරව පවා ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටියේය. එවැනි සංදර්භයක් තුළ කොවිඩ්-19 හිටිහැටියේ නැවත හිස එසවීම පුදුම විය යුතු තත්වයක් නොවේ. රජය කොවිඩ්-19 සමග සටන් කිරීමට රට සූදානම් කර තිබුණේ නැත. ඒ වෙනුවට ගිලී සිටියේ මෝහාන්ධකාරයකයි.

වර්තමානයේදී පවා ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ විද්‍යාව මත පදනම්ව නොව මිථ්‍යාව මත අන්ධ විශ්වාසයක් තබාගෙනයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ පමණක් නොව, අනාගත රාජ්‍ය නායක සිහිනයක සිටින නාමල් රාජපක්ෂ පවා තරගෙට පන්සල් යමින් සිටිති. කොවිඩ්-19 කාර්යසාධක බලකායේ රැස්වීම හැර ඔවුන් කරන එකම කාර්යය ලෙස පෙනෙන්නේ පන්සල් යාමයි. අඩු තරමේ කොවිඩ්-19ට එරෙහිව විද්‍යාත්මකව සටන් කරන සෞඛ්‍ය, පොලිස්, හමුදා කාර්ය මණ්ඩල දිරිගැන්වෙන නිරීක්ෂණ චාරිකාවක්වත් ඔවුන් කරන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ රජය ආර්ථික වශයෙන් රට අසාර්ථක කිරීම ඇරඹුණේ කොවිඩ්-19ටත් පෙරය. රජයේම සංඛ්‍යාලේඛන අනුව කොවිඩ්-19ට පෙර, 2020 වසරේ පළමු කාර්තුවේදී රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6ක් විය. මෙම වසරේ ඍණ 1.7ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා වනු ඇතැයි අනුමාන කර තිබේ. කොවිඩ්-19 නිසා නිර්මාණය වූ තත්වයන් එයට ප්‍රධාන හේතුවකි.

එහෙත්, 2019 වසරේ දෙසැම්බර් 1දා සිට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද නව ලිබරල්වාදී බදු සහන ආර්ථිකය මත බූමරැංගයක් වූ බව චම්පික රණවක පවසයි. ධනවත් ව්‍යවසායකයන් හට ලබාදුන් බදු සහන ආර්ථිකයට උත්තේජනයක් සැපයයීමට අසමත් වූයේ කොවිඩ්-19 නිසා පමණක්ද?

රාජපක්ෂ ආණ්ඩුවල දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලකමක් වන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ට වැඩි වැඩියෙන් මුදල් පොම්ප කරමින් තම ඥාතීන් හා හිතවතුන් ඒවායේ ඉහළ තනතුරුවලට පත්කරගෙන ඒවායින් වාසි ලබාගැනීමයි. මේ අතර, ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණයක් වන්නේ හමුදාව ලවා බිස්නස් කරවීමයි. උදාහරණයක් ලෙස, පෞද්ගලික අංශය අත තිබූ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය 2021 ජනවාරි මස සිට හමුදාව වෙත ලබා දී තිබේ.

නිදහස් වෙළඳාමට කරන බාධා, රාජ්‍ය මැදිහත්වීම්, තහනම් කිරීම්, තහනම්කාරී ආන්තික බදු, රාජ්‍ය හා හමුදා බිස්නස්, ප්‍රායෝගික නොවන මිල පාලන ගැසට් ආදිය මැද බදු සහන පමණක් දීමෙන් පෞද්ගලික අංශය නැංවිය නොහැකිය. ආයෝජක විශ්වාසය ගොඩනගාගැනීම අවශ්‍යය. මේ වන විට ඍජු විදේශ ආයෝජන අවම වී තිබේ. දේශීය ආයෝජකයන් තුළ පවා රජය කෙරෙහි විශ්වාසය අවමය. ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාවය හා සාක්ෂි මත පදනම් නොවූ පටු ජාතිකවාදී ප්‍රවේශයන් ප්‍රධාන හේතුවකි.

රාජ්‍ය ආදායම් අහිමි කරගැනීම රජය මහජනයා ඉදිරියේ අසමත් වීමට තවත් ප්‍රධාන හේතුවකි. මහජනතාව මත වක්‍ර බදු ඉහළ නංවන්නට සිදුවන්නේ එම තත්වය තුළයි. රජයේ මිල පාලන උත්සාහයන් හා වෙළඳපොළට දිගින් දිගටම කරන බාධාකිරීම් හේතුවෙන් ගොවීන්, ධීවරයන් ඇතුළුව නිෂ්පාදකයන්, බෙදාහරින්නන් හා සිල්ලර වෙළඳුන් පවා අධෛර්යවත් වී තිබේ.

රජය මැදිහත් විය යුතුව තිබුණු කඩකුලී වැනි අංශ සම්බන්ධයෙන් රජය කිසිදු මැදිහත්වීමක් කළේ නැත. රජය විසින් ලබාදෙන ලද කොවිඩ්-19 ආපදා ණය හා පොළී සහන ආදිය පවා බැංකු විසින් නිසියාකාරයෙන් ව්‍යවසායකයන්ට ලබාදී නැත.

සංචාරක කර්මාන්තය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ග මේ වන විට මුළුමනින්ම බිඳවැටී හමාරය. කොවිඩ්-19 කළමනාකරණය කරගැනීමේලා දැක්මක් නැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සිහිනයක් වන මට්ටමට පත්වී තිබේ.

2020 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්වීම් 57%කින් අඩු වී තිබෙන බව රජය පවසයි. වසරකට ලක්ෂ දෙකක් පමණ පිරිසක් විදේශ රැකියාවලට පිටත්ව යනමුත් මෙම වසරේ එසේ පිටත්වීම 50,000ක් පමණ වනු ඇතැයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසයි. මෙම තත්වය අනාගත ආදායම්වලට දැඩි බලපෑමක් කරනු ඇත. විදේශ රැකියා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන අතර සංචාරක කර්මාන්තයේද, අපනයන කර්මාන්තවලද කඩාවැටීම් සමග එකතු වූ විට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවන තත්වය අතිශය බරපතලය.

මෝටර් රථ ආනයනය නැවැත්වීමෙන් වසරකට ඩොලර් බිලියනයක් ඉතිරි කරගත හැකි බව රජය පවසයි. ව්‍යාපාරිකයන්ගේ, දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ තේරුමක් නැති විදේශ ගමන්, ඉන්ධන වියදම් ආදිය යම් දුරකට ඉතිරි කරගැනීමෙන් ශ්‍රී ලංකාවට රටින් පිටට යන විදේශ විනිමය යම් ප්‍රමාණයකට අවම කළ හැකියි. එහෙත්, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසන පරිදි ශ්‍රී ලංකාවට ඉදිරි දෙවසරක පමණ කාලය තුළ අහිමි වන විදේශ රැකියා ආදායම් ප්‍රමාණය ඩොලර් බිලියන 11ක් පමණ වේ.

මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණදෙන්නට කිසිදු වැඩපිළිවෙලක් ජනාධිපතිට හෝ ආණ්ඩුවට හෝ ඇති බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට වත්මන් ආණ්ඩුව කරන්නේ පසුගිය ආණ්ඩුවට බැනීම හා අනාගතය ගැන වහසි බස් කීමයි. එදිනෙදා වියදම් වෙනුවෙන් අසීමිත ලෙස ණය ගන්නා බවක්ද පෙනේ. ඇතැම් ණයගැනීම් කර තිබෙන්නේ පාර්ලිමේන්තු අනුමැතිය හෝ නොමැතිව නීති විරෝධී අන්දමිනි. අගමැති මහින්ද රාජපක්ෂ විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සිදුකළ කතාවෙන් මෙය පැහැදිලිව දැකිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සාමාන්‍ය තත්වයක් යටතේ නම් ජනාධිපති ලෙස ජාමෙ බේරාගන්නට හැකියාව තිබිණි. එහෙත්, මහත් කලබැගෑනියක් නිර්මාණය කර, කලින් ආණ්ඩුවට රට පාලනය කරන්නට ඉඩ නොදී, දැවැන්ත කඩාකප්පල්කාරීත්වයක් තුළින් ඔවුන් බලය ලබාගත්තේ මහා අවාසනාවන්ත කාලයක රට පාලනයට උරදෙන්නට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිතන්නට නැත.

පන්සල් ගිය පමණින් ඉල්ලාගෙන දමාගත් උරචක්‍රමාලයෙන් ගැලවිය නොහැකිය. ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ගේ, විපක්ෂයේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල හා පුරවැසියන්ගේ සහයෝගය බලමුළුගන්වාගන්නට ජනාධිපතිවරයා මුලපිරිය යුතුය. යාහැකි වෙනත් මාර්ගයක් නැත.

අජිත් පැරකුම් ජයසිංහ

Related posts

Leave a Comment