ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම නිසා එහි වෙසෙන වන අලින්ගෙන් මේ වන විට පොලොන්නරුව, ඕනෑගම, විජයරාජපුර ගම්මානයේ ගම්වැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩපන වෙමින් පවතින බවත් ගතවූ දින කිහිපය තුළ නිවාස 22ක් කඩා විනාශ කර ඇති බවත්  ගම්වාසිහු පවසති.

ඔවුන් පවසන්නේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් තම ගම්මානයට උදා නොවූ බවයි.අලි වැට සක්‍රීය නොවීම නිසා වන අලින් සවස් කාලයේත් උදෑසනත් ගම්මානයේ කෙසෙල් පොල් ඇතුළු බව භෝග වගා බිම් තුළ සැරි සරන බැවින් සවස 5.00 පමණ වන විටත් උදෑසන 8.00 පමණ වන විටත් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි.

වේරෝඩයාය හා පෙරි ආරු ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත වන විනාශයන් නිසා මෙම අලින් ගම්වැදීම බහුල වූ බව ද ඔවුහු කියති.

“ඉස්සර ආවේ නෑ, හැබැයි අවුරුදු කීපයක් තුළ මිනිස්සු 3දෙනෙක් අලි ගහල මරල තියෙනවා ඉස්සර තිබුණෙ වගා හානි විතරයි වැඩිපුර තිබුණේ , දැන් තමා ගෙවල් වලට ගහන්න පටන්අරගෙන තියෙන්නේ , ගෙවල් වල වී හොයනවා දොරවල් ජනෙල් කඩනවා, මිනිස්සු හවස පහෙන්  හයෙන් පස්සේ එලියටවත් බහින්න බෑ, සාමාන්‍යයෙන් ගොයම් කපලා වතුර දෙනකන් මේ තත්ත්වය තියෙනවා , ළමයින්ට ක්ලාස් ගිහින් එන්න බෑ,

රැකියාවලට යන අයට වැඩට ගිහින් එන්න බෑ බයෙන් ජීවත් වෙන්නේ, අලි වැඩ සක්‍රීය නෑ, අලි වැට හරියට සක්‍රීය කරල දෙන්න කියලා අපි ඉල්ලන්නේ.ඒ විතරක් නෙමෙයි මේ ගෙවල් කඩලා වී බොන අලියා  අල්ලලා ගෙනියන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.මේ වෙනකොට අවුරුදු දින කීපය තුළ ගෙවල් 22ක් කඩලා වී බීලා තියෙනවා.”යැයි ද ගම්වැසියෝ කියති.

කෙසේ වෙතත් මීට වසරකිහිපයකට පෙර වන අලින්ගෙන් වගාවන්ට හානි සිදු වුවත් දැන් ජීවිත කාලය පුරාම දුක් මහන්සියෙන් ගොඩනැගූ නිවාස කඩා බිඳ දමමින් වී මලු ඩැහැගැනීමට අලි පුරුදුව සිටින බව ද ගම්වැසියෝ කියති.

පින්තූරවල දැක්වෙන්නේ ඕනෑගම විජයරාජපුර ගම්මානයේ නිවාසවලට වන අලි කඩා දැමූ නිවාස කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts