දින 7ට කොවිඩ් ආසාදිතයින් 11,000ක් – කොරෝනා විවාදය අදයි

ගතවු දින 7 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊයේ (03) දිනයේ ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගත් අතර එය මෙරටදි එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 709ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts