දේශපාලනයේදී දෙන උපදෙස් යහපතට මෙන්ම අයහපතටත් විය හැක

අයෙකු උපදෙස් දෙන්නේ යහපතට මෙන්ම අයහපතටත් විය හැකි බැවින් දේශපාලනයේදී ඉතා කල්පනාකාරී හා ඉවසිලිවන්ත විය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ පවසති.

උපදේශය අයහපතටත් ක්‍රියාත්මක විය හැකි බැවින් ලැබෙන උපදේශයන් පිළිබදව යළි යළිත් කල්පනාකාරී විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගේ පාර්ලිමේන්තු දිවියට වසර විස්සක් පිරීම නිමිත්තෙන් එළිදක්වන ලද සමරු ග්‍රන්ථය, කොරෝනා ව්‍යසනයෙන් අනතුරුව රට සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය සහ ජාතික නිදහස් පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම විමල් වීරවංශ මහතා අතින් මැණික්හින්න හුරිකඩුව විද්‍ය සාගර පිරිවෙනේදී සිදුවිය.

දේශපාලන කාරණයේදී සියලු දෙයටම වඩා වැදගත් වන්නේ ඉවසීම යැයි  අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

දේශපාලනයේ නිරත වන විට අවවාද මෙන්ම අවලාද එල්ල වීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. එහිදී යහපත් දේ ලබා ගැනීමත් අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමත් සිදු කොට වඩා ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමයි වැදගත් වන්නේ.

තමන්ගේ සමීපතමයින්  සහ හිතවතුන් ගෙන්  අදහස් ලබාගෙන යහපත් ජීවිත ගත කර ගැනීම ද දේශපාලන දිවියේ දී වඩා වැදගත් වෙනවා.  නමුත් ඇතැමුන් බාහිරින් පෙන්වන්නේ එක් දෙයක් අභ්‍යන්තරව පෙන්නන්නෙ තවත් දෙයක්. ඒ නිසා දියුණුව අපේක්ෂා කරන සෑම අවස්ථාවකම වඩා කල්පනාකාරීව ක්‍රියාකළ යුතු යැයි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොරෝනා ව්‍යවසනයෙන් අනතුරුව යළි නැගී සිටීම  සඳහා ලෝකයා ගන්නා ක්‍රියාමාර්ග මෙන්ම ශ්‍රී ලංකාව ද නැගී සිටීම සඳහා මෙරටට  උචිත  ප්‍රතිපත්ති පිළිබඳව අප ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට එක් මතයකට පැමිණියා. එම ප්‍රතිපත්ති සහ යෝජනා මහා නායක හිමිපාණන් වහන්සේට පිළිගැන්වූ අතර ඉදිරියේදී එය කාදිනල්තුමා ඇතුලු අනෙකුත් ගෞරවනීය නායකයන් වෙත පිළිගැන්වීමට අපේක්ෂා කරනවා.

මෙම ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ සහන කියන මානසිකත්වය නොව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවා ගැනීමයි. ඒ සඳහා කළ යුතු වෙනස්කම් මේ යටතේ සදහන් කොට තිබෙනවා.

මහජනයාගේ ජීවනෝපාය හොදින් තිබෙනවා නම් සහන යන්න ඉදිරියේදී අවශ්‍ය නොවන බව ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර


Related posts

Leave a Comment