නාරහෙන්පිට ව්‍යාජ කච්චේරිය වටලයි

නාරහෙන්පිට  ගජබාපුර ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සැකසු රියදුරු බලපත්‍ර හතරක් ඇතුළුව  දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති වරුන්ගේ හා රජයේ උසස් නිලධාරීන්ගෙ තනතුරු සහිත ව්‍යාජව සැකසූ නිල මුද්‍රා හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ දකුණ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම සැකකරු සන්තකයේ තිබී  අත්අඩංගුවට ගත්  නිලමුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන,දෙපාර්තුමේන්තුවේ කොමසාරිවරයාගේ ඇතුළු මෝටර් රථ ලියා පදිංචි කිරීමේ හා රියදුරු බලපත්‍ර ලබා දීමේ කොට්ඨාසයේ  උසස් රාජ්‍ය නිලධාරීන්ගේ  නිල මුද්‍රා මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල  නම් සඳහන් මුළු දිවයිනටම සාම විනිසුරු වරුන්ගේ නිල මුද්‍රා,  ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ,ග්‍රාම නිලධාරීන්ගේ නිල  මුද්‍රා මෙන්ම පොලිස් ස්ථාන වලින් නිකුත් කරන පැමිණිලි පිටපත් ලේඛන ආකාරයෙම සැකසූ ව්‍යාජ ලේඛන කීපයක්, පොලිස් ස්ථානයන් හා රාජ්‍ය ආයතනයන් විසින් යම් මුදල් ගෙවීමකදි නිකුත් කරනු ලබන ව්‍යාජව සැකසුම්  මුදල් කුවිතාන්සි කිහිපයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නිකුත් කරන ලද වාහන ආදායම් බලපත්‍ර ආකාරයෙන් ව්‍යාජ ලෙස සැකසූ ආදායම් බල පත්‍ර කිහිපයක්, ව්‍යාජ ආකාරයෙන් සැකසුම් කරන ලද රියදුරු බලපත්‍ර  හතරක් හා ව්‍යාජව ලිපි ලේඛන හා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සේවා දායකයින් ගෙන් ලබාගන්නා විස්තර ඇතුළත් හෝම සහ ඡායාරූප සහ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත් කීපයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
 දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන වල ස්ථානාධිපති වරුන්ගෙ ව්‍යාජ  ලෙස සැකසූ නිලමුද්‍රා 22 ද  මෙම වැටලීමේදී අ අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
නාරහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස ගජබාපුර වත්ත ප්‍රදේශයේ නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන යන බවට කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රජිත් ගිනිගේ මහතාට ලද තොරතුරක් අනුව එම නිවස වටලා සිදුකළ සිදු කළ පරික්ෂාවේදී නිවසේ කාමරයක් තුළ තිබූ මෙම ව්‍යාජ නිලමුද්‍රා තොගය  සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත්  මෙම සැකකරු මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත විවිධ කටයුතු සිදුකර ගැනීම  සඳහා පැමිණෙන පුද්ගලයින් හට රාජ්‍ය ආයතන වලින්  ලබා ගැනීමට නොහැකි ලිපි ලේඛන රුපියල් 2000 සිට රුපියල් 15,000/= දක්වා ඉහළ මිල ගණන් අයකර ව්‍යාජ ලෙස සකසා ලබාදෙන බවට මූලික විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය  පැවසීය.
49 හැවිරිදි සැකකරු තිදරු පියෙක් වන අතර බොරැල්ල ප්‍රදේශයම ප්‍රදේශය ම පදිංචිකරුවෙක් වන බවත් දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියේ උකුසු ඇසට වැලි ගසමින් මෙම හොර කච්චේරිය පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව පොලිසිය පැවසීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලීසියට භාර දීමට නියමිතව තිබිනි.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ දකුණ කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රී මහතාගේ උපදෙස් පරිදි  කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල්  ඉන්ද්‍රජිත් ගිනිගේ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂකවරුන් වන එච්.එම්.ඒ.බී හේරත්, ඩී.එම්.එස් දිසානායක පොලිස් කොස්තාපල්වරුන් වන 40820 ලසන්ත ,78794 කොඩිතුවක්කු , 70211 අබේසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් 7281 මානෙල් පොලිස් කොස්තාපල් රියදුරු 89723 සේනාධීර යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts

Leave a Comment