නීතිවිරෝධිව වෙළදපොලට නිකුත් කිරිම සදහා ඇසුරුම් කල බඩ ඉරිගු 20000kg අත්අඩංගුවට

ඉන්දුනිසියාවේ සිට මෙරටට ආනයනය කර නීතිවිරෝධිව වෙළදපොලට නිකුත් කිරිම සදහා ඇසුරුම් කලබව කියන බඩ ඉරිගු බීජ කිලෝග්‍රෑම් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් ගබඩාව වටලා කලමනාකාරිත්වය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

රජරට හේන් ගොවින්ට අලවිකිරිම සදහා වෙළදපොලට නිකුත් කිරිමට බඩ ඉරිගු බීජ තොගයක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ විශාල ගබඩාවක ඇසුරුම් කරමින් සිටින බවට අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ජේෂ්ඨ ස්ථානභාර නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමකට ලැබුණු තොරතුරුකට අනුව වැටලිම සිදුකර තිබුණි.

අදාල ස්ථානය වටලන විට සේවකයන් විශාල පිරිසක් අදාල ගබඩාවතුල බඩ ඉරිගු බීජ කිලෝග්‍රෑම් එකක පැකට්ටු වලට අසුරමින් සිට ඇති අතර ගබඩාවේ තිබි කිසිදු නාමයක් ආනයනය කල රටක් කල් ඉකුත්විමේ දිනයක් කාන්ඩ අංකයක් නොමැති කිලෝග්‍රෑම් 50 ප්‍රමාණයේ බඩ ඉරිගු බීජ සහිත ඇසුරුම් 165කට ආසන්න ප්‍රමාණයක් නිලධාරි භාරයට ගෙන තිබුණි.

එම ගබඩාව තුල තිබි කහ පැහැයෙන් යුතු වෙනත් වෙළද නාමයක් සහිත බඩ ඉරිගු පැකට් කිරිමට යොදාගත් උර තොගයක් කාන්ඩ අංකය නිෂ්පාදිත දිනය කල් ඉකුත්විමේ දිනය හා මිල සහිත කුඩා ප්‍රමාණයේ ස්ටිකර් තොගයක්ද නිලධාරින් බාරයට ගෙන තිබුණි.

ඉන්දුනිසියාවෙන් ගෙන්වු බව කියන බඩ ඉරිගු තොගයේ ප්‍රමිතිය පිලිබදව කිසිදු සහතිකයක් එම බඩ ඉරිගු බීජ තොගයේ නොතිබුණු අතර අත්අඩංගුවටගත් බඩ ඉරිගු බීජ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 150ක් පමණ වන බව නිලධාරින් පවසති.

වර්ග අඩි 35000ක පමණ වන ගබඩාවතුල සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා බඩ ඉරිගු බීජ නැවත ඇසුරුම් කිරිම සිදුකර තිබෙනා අතර එසේ නැවත ඇසුරුම් කිරිම නීතිවිරෝධි බව නිලධාරින් පවසති.

මේ පිලිබදව සිදුකල විමසීමකදි අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජේෂ්ඨ ස්ථානභාර නිලධාරි බී.ඒ.සී.බි පෙරේරා මහතා පැවසුවේ අත්අඩංගුවටගත් බීජ සාම්පල හා ගබඩා කලමනාකාරිත්වය මේ මස (27දා) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනා බවයි.

අත්අඩංගුවටගත් කලමනාකාරිත්වය බැදුම්කර ඇපයක් මත මුදාහැර තිබෙන අතර ඔහුට (27දා) අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වමින් අධිකාරිය නොතිසි නිකුත්කර තිබුණි.පසුගිය වසර කිහිපය තිස්සේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ගලෙන්බිදුණුවැව කහටගස්දිගිලිය හොරොව්පොතාන කැබිතිගොල්ලෑව කැකිරාව ඇතුළු ප්‍රදේශ රැසක ථල නෙදරන බඩ ඉරිගු බීජ කෘෂිකර් ම අලවිසැල් මගින් අලවිකර තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලිස්ථාන වලට ගොවින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත්කර තිබුණි.

මේ ව්‍යාපාරය සම්පූර්ණ නීතිවිරෝධි ව්‍යාපාරයක්.මේ ආකාරයට ශ්‍රී ලංකාව තුල බීජ ඇසුරුම් කිරිමට හැකියාවක් නෑ.කූඨ වෙළදුන් පිරිසක් බාල තත්වයේ බීජ වර්ග අඩුමිලට මෙරටට ගෙනවිත් ඇසුරුම් සකසලා වෙළපොලට මුදාහරිනවා.අසරණ ගොවින් විශාල පිරිසක් මේ හේතුව නිසා මුදල් කාලය ශ්‍රමය නාස්තිකරගෙන අන්ත අසරණ වෙනවා.

ඒ නිසා මේ කූඨ ව්‍යාපාරයට තිත තියන්න අදාල ආයතන කටයුතු කිරිම සතුටක් වගේම මේබීජ වර්ග අලවිකරනා කෘෂි වෙළදසැල්වල බලපත්‍ර අහෝසි කරන්න ඕන යනුවෙන් කෘෂි ව්‍යාපාරිකයක් කිහප දෙනෙකු පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts

Leave a Comment