පාතාලය මර්දනය කිරීම වැඩි ඈතක නෙවෙයි

ලෝකය බැහැයි කිවූ යුද්ධය ජයග්‍රහණය කළා සේම  කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවාරම් තුරන් කිරීම හා පාතාලය මර්දනය කිරීම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් එය වැඩි ඈතක් නොවන බවත් ශ්‍රී ලංකා යුධ හමුදාපති හා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි  ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාදුරු ඔය ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බලකායේ විශේෂිත පාඨමාලා හැදෑරූ 50 වන කණ්ඩායම පාඨමාලාව නිම කර විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි.

මෙහි දී මාස 09ක පාඨමාලාව සාර්ථක නිම කළ නිලධාරින් 05ක් හා සෙසු නිලයන් 295 දෙනෙකු විසිර ගිය හ.ශ්‍රී ලංකා යුධ හමුදාවට විශේෂ නිල ඇදුමක් හදුන්වා දීමද සිදු වීම විශේෂ්යත්වයක් වන අතර විසිර ගිය සෙබලුන් ගේ දක්ෂතම වෙඩික්කරුවා හා සෑම අතින් ම රණ ශූර සෙබලා පදක්කම් පිරිනැමීමත් මාදුරු ඔය අසස් කුස විචිත්‍රවත් කරමින් පැවැත්වූ පැරෂුට් සන්දර්ශනයත් කාගේත් අවධානය දිනා ගත්තේය. එම පෙළපාලියෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

“ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ විශේෂිතයන් සිටින විශේෂ බලකා රෙජිමේන්තුවේ 50 වන කණ්ඩායම විසිර යාම සිදු වුණේ.යුධ හමුදාවේ විශිෂ්ටයෙකු වීම ඉතාම අසීරු කාර්යයක්.

මේ පාඨමාලාව දෙස බැලීමෙන් පාඨමාලාවට ඇතුළු වූ පිරිසෙන් සම්පූර්ණයෙන් පාඨමාලාව නිම කරන්න හැකියාව ලැබුනෙ අඩකට පමණයි.ඒක ඉතාම දුෂ්කර කාර්යයක්.ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකු වීමේ පෙළපාලියක් අද පැවැත්වුණේ.

යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය,භෞමික අඛණ්ඩතාව ‍රැක ගැනීම සදහා ඕනෑම අවස්ථාවක දී ක්‍රියාකරනු ලබනවා.අපට හොදටම විශ්වාසයි රටේ නායකත්වය   ජනාධිපතිතුමා ඇතුළු රජය අගමැතිතුමා ඇතුළු රජය රටේ යලි පාස්කු ප්‍රහාරය වැනි තත්ත්වයන් ඇති වීමට ඉඩ නොතබම බවට.දැනට ඉන්න හමුදාවන් ආරක්ෂක අංශ එවැනි සිද්ධි යලි ඇති නොවන ආකාරයෙන් රට ‍රැක ගැනීම සදහා සියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා.අවශ්‍ය පියවර ගනු ලබනවා.

ඉදිරියේ දීත් ඒ අනුව ක්‍රියාකිරීමට කටයුතු කරනු ලබනවා.ලෝකයේ තිබෙන තත්ත්වයන් එක්ක බැලුවම යම් යම් දේවල් එන්න පුළුවන්.නමුත් අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට කළ යුතු ඕනෑම කැපකිරීමක් කරමින් රටේ ජනතාව ත් රටත් ආරක්ෂා කර ගන්න ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවම කටයුතු කරනවා.

මත් කුඩු මර්දනය සදහා ජනාධිපතිතුමා ජනාධිපති දුරයේ දිවෘම් දුන්නට පස්සේ මේ රටේ මත් කුඩු ජාවාරම තුරන් කිරීමට යුධ හමුදාව පමණක් නෙමෙයි නාවික ගුවන් යන ත්‍රිවිධ හමුදාවම මේ සදහා යොමු කරලා තිබෙනවා ශ්‍රී ලංකා පොලිසිය ට අමතරව.මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ පිරිස් සතියකින් දෙකකින් මාසෙකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේවා ජාවාරම් විදිහට ව්‍යාපාරයක් විදිහට කරගෙන යන ශ්‍රී ලංකාව තුළ පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ ත් මේ සදහා සම්බන්ධ වෙලා ඉන්න පිරිස් සූක්ෂම ක්‍රමවේද අනුගමනය කරමින් පවතිනවා.

ඒ කුමන සූක්ෂම ක්‍රම අනුගමනය කරනු ලැබුවත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරන්න බැහැයි කියපු වෙලාවේ ජයග්‍රහණය කරපු කණ්ඩායමක්.

ලෝකයේ ප්‍රබල රටවල් කෝවිඩ් වලට දණ ගහලා ඉන්න අවස්ථාවක කෝවිඩ් පරාජය කරන්න කටයුතු කරපු රටක් හමුදාවක් අපට ඉන්නේ.එවැනි හමුදාවකට කුඩු කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.අපි පොලිසියත් එක්ක එකතු වෙලා මේ රටෙන් කුඩු තුරන් කිරීමට අනිවාර්යයෙන් ම කටයුතු කරනවා මයි.

මෙහි භයානක තත්ත්වයන් අපි දැක්කා පහුගිය කාලේ දී.හමුදාවලට පොලිසිවලටත් ඇතුළු වෙලා මේ කුඩු ජාවාරම්කරුවන් ඔවුන්වත් ඇබ්බැහි කරවලා ක්‍රියා කිරීමේ උත්සාහයක යෙදෙනවා.මොකද ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් අරවා මේවා නිසා.අද වීරෝධාර රණ විරුවෙක් විශිෂ්ටයෙක් වෙන්න මොනතරම් කැපකිරීම් කරලාද කාලය ශ්‍රමය පරිත්‍යාග කරලාද ඔවුන් ඒ තත්ත්වයට එන්නේ.අප්පි යුධ හමුදාවේ සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ එවැනි තත්ත්වයන්වලට අහු වෙන්න එපා කියලා.

මම දන්නවා විනය ගරුක හමුදාවක විනයක් තියෙන සොල්දාදුවෙක් කිසි දිනක එවැනි දේවල් කරන්නේ නෑ.අපි ශ්‍රී ලංකාවෙන් මත් ද්‍රව්‍ය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකා පොලිසිය සමග ඉතාම ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා.ඉතාම ඉක්මනින් මේ රටේ කුඩු ව්‍යාපාරය තුරන් කරනවා.ඒ විතරක් නෙමෙයි පාතාලය මර්දනය කරනවා.පාතාල නායකයන්ට ඉතාමත් අපහසු ඇති.පාතාල කණ්ඩායම බූස්ස කදවුරට හා වෙනත් කදවුරුවලට අපි අල්ලාගෙන ඇවිල්ලා දාලා තියෙනවා.

ප්‍රබල සාමාජිකයන් බූස්ස කදවුරට ස්ථාන ගත කෙරුවා.ඉස්සර නම් සෑහෙන සංඛ්‍යාවක් දුරකථන තියාගෙන ඇතුලේ ඉදලා ක්‍රියාත්මක වුණේ.දැන් අපි එය පාළනය කර තිබෙනවා.අපි ඔවුන් අතහරින්නේ නෑ.කුඩු පාතාලය මර්දනය කරන්න පුළුවන්.පාතාලයට වැඩි ඈතක් නැ.ඉතාම කෙටි කාලයකින් අවසන් කරනවා.බන්ධනාගාර පිරිලා ඉතිරිලා යනවා මේ කුඩු ජාවාරම්කරුවන්ගෙන්.

අද දිනයේ ශ්‍රී ලාංකික යුධ හමුදාවේ විශේෂිතයන්ට විශේෂිත නිල ඇදුමක් හදුන්වා දෙනු ලැබුවා.දක්ෂයන් ඉන්න හමුදාවක ට අපි පෙනුමත් වැඩවගේම පෙන්නනවා.”යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේ සේනා විධායක කර්නල් ආර්.පී.එස්.ප්‍රසාද් මහතා ඇතුළු යුද හමුදාවේ නිලධාරින් හා සෙසු නිලයන් ‍රැසක් ම සහභාගී වූහ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts