පිළිකා කාරක අඩංගු බව තහවුරු කළ පොල්තෙල් වෙළඳ පොළට

oil

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය  හෙළිදරව් කර තිබේ. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ ආනයනකරුවන් 4දෙනෙකුට අයත් ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි.

එම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයද තහවුරු කර තිබේ.

ඒ අනුව එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කර ඇත. එසේ තිබියදී එය වෙළෙඳපොළට නිකුත් වූයේ කෙසේද යන්න ගැටලුවකි.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වේ. ඉන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් විසින් සපුරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයකි. ඉතිරි මෙට්‍රික් ටොන් 155,000ක තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ ආනයනකරුවන් විසිනි.

Related posts