පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති

ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නා දමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම් ඉස්සරහට අපිට රටක් නැති වෙනවා.

දැන් මේ අපරාධ සිද්ධිය ගැන විමර්ශන සිදුවෙනවා. තමුන්නාන්සේලාගේ සහෝදර නිලධාරීන් 12 දෙනෙක් එම විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිටු 08 කින් යුත් වාර්තාවක් අධිකරණයට ගොනු කළා. එම ‘බී වාර්තාවේ’ සඳහන් වන්නේ ‘මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී, අවි ආයුධ රැස්කිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ආධාර අනුබලදීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකිරීම’ කර ඇතැයි යනුවෙන්.

මේ සිද්ධිය වුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වුණාට තමුන්නාන්සේලා සියලු දෙනා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් නිලධාරීන්. එතකොට මෙතැන යම් සිද්ධි වෙනවා නම් ඒවා වෙන්නේ රාජකාරී මට්ටමින්. ඒවා මුළු පොලිස් දෙපාර්තමේන්තුවට බලපාන කාරණා නිසයි පොලිස්පතිතුමාට මෙතැනට එන්න කියලා කිව්වේ. හරි විදියට නම් පොලිස්පතිතුමා මෙතැන ඉන්න ඕනේ. ඒත් ඔහු මේ වනවිට මෙතැන නැහැ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම අදහස් ප්‍රකාශකර තිබුනේ ඉහල පොලිස් නිලධාරීන් සදහා පසුගිය දා පැවති දේශණයක දීය. ඔහුගේ සම්පුර්ණ දේශණය මනෝප්‍රිය ගුණසේකර විසින් ලංකාදීප පුවත්පතේ පලකර ඇති අතර ඒම සම්පුර්ණ ලිපිය කියවීම සදහා කාලීනසංවාද  වෙත පිවිසෙන්න.

Related posts