පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට

gampaha-corona

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ  නව කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව  වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා  පැවසුවේ

පෙරේදා(01) දිනයේ දී අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමුවී  ඇති බවයි.තුන්වන ‍රැල්ලෙන් හඳුනා ගත්   කොරෝනා ආසාදිතයින් ගෙන් වැඩිම පිරිස ක් හමුවී  ඇත්තේ හිඟුරක්ගොඩ ප  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයෙනි.එම සංඛ්‍යාව 77කි. තමන්කඩුව, ඇලහැර ,සිරිපුර හා මැදිරිගිරිය යන ප්‍රදේශවලින් අනෙකුත් රෝගීන් හමුව ඇත.

මේ අතර කොරෝනා ආසාදිතයින් බහුලව හමුවන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හිඟුරක්ගොඩ දිසා රෝහලේ නේවාසික රෝගී අංශය කොවිඩ්19 රෝගීන්ට වෙන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇතැයි ද  පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.මේ වන විටත් එහි කෝවිඩ් වෛරසය ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරමින් සිටින බව ද හෙතෙම වැඩි දුරටත් කීය.හිඟුරක්ගොඩ සිරිකෙත හා ඇළහැර සරුබිම ග්‍රාම නිලධාරි වසම් මේ වන විටත් හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts