ප‍්‍රසන්නට තුති

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පාර්ලිමේන්තුව තුළදී මන්තී‍්‍රවරුන් පිරිසකට මිරිස්කුඩු ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ලෙසය.

ඔහුගේ එම කි‍්‍රයාවට සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වුව ද, එම විරෝධය ඔහුට නැවත පාර්ලිමේන්තුවට පත් වීමට පමණක් නොව රාජ්‍ය ඇමැති ධුරයකින් පිදුම් ලැබීමට ද බාධාවක් වූයේ නැත.

එම නිසා පරණ ප‍්‍රසන්න රණවීර ගැන කතා කරනවාට වඩා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ලෙස වැඩ භාරගත් ප‍්‍රසන්න රණවීර ගැන කතා කිරීම වඩා වැදගත් වන්නේ මේ නිසාය.

පසුගියදා රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දෙමින් ප‍්‍රසන්න රණවීර වැඩ ඇල්ලූවේ සිය අමාත්‍යාංශයේ පෙරළියක් සිදු කරමිනි.

ඒ මෙපමණ කාලයක් මසකට ලක්ෂ 80 ක පමණ කුලී මුදලකට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ග‍්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයට ගෙන යෑමට තීරණයක් ගනිමිනි.

මසකට ලක්ෂ 80 ක පමණ මුදලක් ගෙවා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මෙම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම ගැන ලජ්ජා විය යුතු බව පවසමින් මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට දොස් පවරා තිබිණි.

අමාත්‍යාංශයේ මසක කුලී මුදලින් ස්වයං රැකියා 80 ක් පමණ ලබාදිය හැකි බව ද, මහ පොළවට බැස වැඩ කිරීමට නොහැකි නිලධාරීන් සිටී නම් ඔවුන් සමග ඉදිරියට යා නොහැකි බව ද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබිණි.

අමාත්‍යාංශයේ වැඩ භාර ගත් දිනයේම අසරණ ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට ප‍්‍රායෝගික තීන්දුවක් ගැනීම ගැන රාජ්‍ය ඇමැතිවරයාට රටේ ජනතාවගේ ප‍්‍රණාමය හිමි විය යුතුය.

Related posts

Leave a Comment