බ‍්‍රැන්ඩිස් කොරෝනා පොකුර පුපුරයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඉතා ඉහල බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සමාජය තුල ගැවසී ඇති ප්‍රමාණය ඉහළ බවයි.

මෙම ස්ථානයට වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකිවු බවද ඔහු කියා සිටියේය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ බිහිසුණුම කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට ඇඳිරි නීතිය පනවා ඇත්තේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට , දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පමණක් වුවද සෙසු ප්‍රදේශවල සිටින ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශ අනුව කටයුතු කළ යුතු බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙයි.

මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටි යුතු බවත් නිවෙසින් පිටත පැමිණ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැලදිය යුතු බවත්, නිතර අත් සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එම නිවේදනයේ සදහන්ය.

වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එළිමහනේ ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන ලෙස කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

Related posts

Leave a Comment