මහනුවර අවදානම් වෙයි

nayayam

නායයාම් අවදානම් ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රිකය මේ වන විට නම් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හතරක (204)  සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වැඩිම හානි සිදුව ඇතැයි ඒ මහතා කීහ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විපතට පත්වූන්ට සහන සැලසීම මේ වන විට ආරම්භ කර ඇතැයි කී සහකාර අධ්‍යක්ෂවරයා, හන්තාන ප්‍රදේශයේ හානියට පත් නිවාස පිරිසිදු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව සහ මහනුවර මහ නගර සභාව එක්ව සිදුකරන බවත් සදහන් කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මහනුවර දිස්ත්‍රිකය නාය යාමේ අවදානම් ප්‍රදේශයක් බවට පත් කර ඇති නිසා ජනතාව දැඩි විමසිලිවත් විය යුතු යැයි ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා වැඩිදුරටත් පැවසීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts