මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්

ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් යම් දිනෙක මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයක් ඇති වේවි ද? කෙනකුට මෙය විහිළුවක් සේ පෙනෙන්නට ඉඩ ඇති වුවත් ජනගහනය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් මෙය විහිළුවක් ලෙස ම සලකන්නේ නැත.

මේ ගැන සිතා බලන්නට පොලඹවන ආකාරයේ පර්‌යේෂණ වාර්තාවක් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.

මේ වනවිට ලෝකයේ කාන්තාවන් ගේ සරුබව පිළිබඳ අනුපාතය (Fertility Rate) පහත වැටෙමින් තිබීමේ ගැටලුව ගැන මෙහිදී මෙම පර්‌යේෂකයෝ විශේෂ අවධානයක් යොමු කරති. සරු භාවය පිළිබඳ අනුපාතය යනුවෙන් හැඳින්වෙන්නේ කාන්තාවක විසින් බිහි කරනු ලබන දරුවන් සංඛ්‍යාවෙහි සාමාන්‍ය අගයයි.

නවසිය පනස් ගණන්වල මෙම අනුපාතය පැවතියේ 4.7 ක් ලෙසිනි. එනම් එකල කාන්තාවක විසින් බිහි කරන ලද දරුවන් ගණන දළ වශයෙන් 4.7 ක් වූ බවයි. නමුත් 2017 වනවිට මෙම අනුපාතය අඩකින් අඩු වී ඇති බව පර්‌යේෂකයෝ පෙන්වා දෙති. 2017 වෙද්දී එම අනුපාතය සටහන් වූයේ 2.4 ක් ලෙසිනි.

යම් හෙයකින් මෙම අනුපාතය 2.1 කට වඩා අඩු වුවහොත් එයින් පසු ජනගහනය කෙමෙන් අඩු වෙන්නට පටන් ගනියි. උපත් සංඛ්‍යාව ට වඩා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

ඉහත කී පර්‌යේෂණය සිදු කළ විශේෂඥයන් පවසන්නේ මෙම සියවස අවසානය (2100) වනවිට මෙම අනුපාතය 1.7 ක් දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි කියාය. මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විශේෂඥයන් අනාවැකි පළ කරන ආකාරයට ලෝකයේ රටවල් 23 ක ජනගහනය 2100 වන විට හරි අඩකින් අඩු වනු ඇත. ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, පෘතුගාලය, තායිලන්තය, ස්පාඤ්ඤය වැනි රටවල් ද ඒ අතර වෙයි.

ජපානයේ ජනගහනය දැනටමත් අඩු වීමට පටන්ගෙන ඇතැයි පිළිගැනේ. මේ වනවිට එරට ජනගහනය මිලියන 126 ක් වන අතර 2100 වනවිට එය මිලියන 53 කටත් වඩා අඩුවනු ඇති බවට ගණන් බලා තිබේ. ඉතාලියේ ජනගහනය ද මෙම කාලසීමාව තුළ මිලියන 61 සිට මිලියන 28 දක්වා පහත වැටෙනු ඇති බවට අනාවැකි පළවෙයි.

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටවන චීනයේ ජනගහනය ද තව වසර 4 කින් එහි උපරිමයට (බිලියන 1.4 ට) ළඟා වී 2100 වනවිට මිලියන 732 ක් දක්වා අඩු වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ වනවිට ලොව වැඩිම ජනගහනය සහිත රට වනු ඇත්තේ ඉන්දියාවයි. ලෝකයේ ජනගහනය පහත වැටෙද්දී වැඩිහිටි ජනගහනය තරුණ ජනගහනයට වඩා වැඩි වීම ද අර්බුද රැසක් ජනිත කරනු ඇත.

මේ අතර මෙම පර්‌යේෂකයන් පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ ලෝකයේ ජනගහනය 2064 දී එහි උපරිමයට ළඟා වී එයින් පසු කෙමෙන් අඩු වීමට පටන් ගනු ඇති බවයි.

2064 දී ලෝක ජනගහනය බිලියන 9.7 ක් වනු ඇති බවත් පසුව 2100 වෙද්දී එය බිලියන 8.8 ක් දක්වා පහත වැටෙනු ඇති බවත් ඔවුහු සඳහන් කරති. ලෝකයේ රටවල් 195 කින් 183 කම ජනගහනය අඩු වීමේ තත්ත්වයක් පෙන්නුම් කරනු ඇතැයි සඳහන් වේ.

කලින් සඳහන් කළ ආකාරයෙන් කාන්තාවන්ගේ සරුභාවය අඩු වීමට හේතු හැටියට පෙන්වා දෙන්නේ කායික වශයෙන් ඇති වන දුබලතාවන් වැනි කාරණා නොවේ.

කාන්තාවන් අධ්‍යාපනික වශයෙන් වඩාත් දියුණු වීම, වැඩි වැඩියෙන් රැකියා සඳහා යොමු වීම, උපත් පාලනය වැනි කටයුතු ප්‍රචලිත වීම බඳු හේතු මෙහි දී පෙන්වා දෙනු ලැබේ. මෙම කාරණා නිසා කාන්තාවන් දරුවන් අඩුවෙන් බිහි කිරීමට පෙලඹීම ඉදිරියේ දී තවත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.

ජනගහනය අඩු වීම ඇතැම් කාරණා සම්බන්ධයෙන් යහපත් සේ බලපානු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. පරිසර විනාශය, වන සංහාරය, කාබන් විමෝචනය වැනි තත්ත්වයන් හි අඩු වීමක් නිසැකවම දකින්නට ලැබෙනු ඇත.

නමුත් වැඩිහිටි ජනගහනය වැඩි වීම, තරුණ ජනගහනය අඩු වීම වැනි කාරණා ගැටලු රැසක් ජනිත කරනු ඇති බව ද රහසක් නොවේ. වයස අවුරුදු 5 ට අඩු අයගේ සංඛ්‍යාව 2017 වසරේ මිලියන 681 ක් වූ අතර ඉහත කී පර්‌යේෂකයන් පෙන්වා දෙන අන්දම ට 2100 වනවිට එය මිලියන 401 ක් දක්වා අඩු වනු ඇත.

වයස අවුරුදු 80 ට වැඩි අයගේ සංඛ්‍යාව එම කාලය තුළ මිලියන 141 සිට මිලියන 866 දක්වා විශාල ප්‍රමාණයකින් වැඩි වනු ඇත. මෙහි අදහස වන්නේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමට සිටින පිරිස ද අඩුවනු ඇති බවකි. මෙම අති විශාල වැඩිහිටි ජනගහනය රැකබලා ගැනීම, නඩත්තු කිරීම දැඩි අභියෝගයක් වනු ඇතැයි යන්න ඇතැම් විශේෂඥයන්ගේ අදහසයි.

මිනිසුන් බොහෝ වියපත් වනතුරු රැකියාවලින් විශ්‍රාම නොගොස් වැඩ කිරීමට සිදුවනු ඇත් ද වැනි ප්‍රශ්න පවා මතු කරනු දැකිය හැකි වේ..

මේ වනවිටත් ජනගහන ගැටලුවට මුහුණ දී සිටින ඇතැම් රටවල් වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් එම අඩුව පුරවා ගනිමින් සිටියි. නමුත් සියලුම රටවල් ජනගහන ගැටලුවලට මුහුණ දෙන අනාගත තත්ත්වයක් තුළ කුමක් සිදුවේවි ද යන්න අවිනිශ්චිත බව විශේෂඥයන්ගේ අදහසයි.

සංක්‍රමණිකයන් තම රටවලට ගෙන්වා ගැනීම සඳහා අනාගතයේ දී රටවල් අතර විශාල තරගයක් ඇති වීමට පවා බැරි නැතැයි පෙන්වා දෙනු ලැබේ. මතුවෙමින් ඇති මෙම ජනගහන ගැටලුව හමුවේ ඇතැම් රටවල් උපත් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටිනු දැකිය හැකි වේ.

මාතෘ නිවාඩු මෙන්ම පීතෘ නිවාඩු ද ලබා දීම, දරුවන් බලා ගැනීමේ කටයුතු නොමිලයේ කර දීම, මූල්‍යමය දිරි ගැන්වීම් සහ රැකියා ස්ථානවල විශේෂ වරප්‍රසාද දීම වැනි පියවර නිදසුන් ලෙස දැක්විය හැකිය.

ලොව බොහෝ කලාපවල ජනගහනය අඩු වීමේ තත්ත්වයක් ඇති වුවත් අප්‍රිකානු කලාපයේ තත්ත්වය ඊට වෙනස් වනු ඇති බව මෙම පර්‌යේෂකයන්ගේ තක්සේරුවයි.

එම කලාපයේ ජනගහනය 2100 වන විට අද මෙන් තුන් ගුණයක් පමණ වනු ඇතැයි ගණනය කර තිබේ. ඒ වනවිට නයිජීරියාව ජනගහනය අතින් ලොව දෙවැනි තැනට පත්වීමට නියමිත ය.

එහි ජනගහනය චීනයේ ජනගහනය ද ඉක්මවා යනු ඇති බව විශ්වාස කෙරේ. ජනගහන රටාවන් මේ ආකාරයෙන් වෙනස් වෙද්දී ලෝකයේ බොහෝ කලාපවල ජීවත් වන අප්‍රිකානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කර ඇත.

කෙසේ හෝ වේවා, සමස්තයක් ලෙස ලෝක ජනගහනය අඩු වීමේ ගැටලුවට සාර්ථක විසඳුම් සෙවීමට සිදුවීම අනිවාර්ය බව ඉහත කී විශේෂඥයෝ පෙන්වා දෙති.

නමුත් දරු උපත් වැඩි කර ගැනීම සඳහා අද කාන්තාවන් භූක්ති විඳින නිදහස, අයිතිවාසිකම් ආදිය බිල්ලට නොදිය යුතු බව ද මෙහි දී විශේෂයෙන් අවධාරණය කෙරේ.

යම් හෙයකින් මෙම ගැටලුව විසඳා ගැනීම ට නොහැකි වුවහොත් තව සියවස් කිහිපයක් ගත වෙද්දී මිනිස් වර්ගයාගේ පැවැත්මට පවා යම් අභියෝගයක් එල්ල විය හැකිය යන්න මේ පිළිබඳ විශේෂඥයන් ගේ අදහස වී තිබේ.

සහන් වික්‍රමගේ

-aruna

Related posts

Leave a Comment