රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

සාර වූ සාර විඩේ කතාන්දරය හැඩේට කන විඩ ගැන හැඩ නොවන කතාව –

විට නැතහොත් විඩ යනුවෙන් ද බුලත් විටේ නැතහොත් බුලත් විඩ දැන් සරසවි සිසුන්ද ආහාරයට ගන්නා වු නවතම ප්‍රවනතාවයක්‌ දැකිය හැකිය. දැනට බුලත් විටක්‌ රුපියල් 30 , 35 , 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ දැකිය හැකිය. සාර විඩ නම් වු බුලත් විටක්‌ රුපියල් තිස්‌ පහකි. උත්සව කලයේදී හා ලංකාවේ විවිධ රැස්‌වීම් අවස්‌ථාවලදී ද විටක්‌ රුපියල් 30 සිට 40 දක්‌වා මිල නියම වේ.

අප ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ ආදි වශයෙන් බුලත් විට විකුණන බුලත් විට සකස්‌ කර විකුණන මෙම කර්මාන්තයෙන් ජීවත්වන පිරිසද ලංකාවේ අසීමිතය.සමහරු පාරම්පරිකව බුලත් විට වෙළඳාම් කරන පරපුරවල් කිහිපයකට අයත් පිරිස්‌ද අපට මෙහි දි හමු වූහ.

බුලත් අපට ලැබුණේ නාග ලෝකයෙන් යෑයි පැරැණි කතාවක්‌ තිබේ. නාගරාජයකු බුලත් කොළය මෙලොවට ගෙනැවිත් ඇත්තේ කටේ තබාගෙනය. බුලත් කොළය උඩු යටි අතට හරි මැදින් දෙකට නැමූ විට එකට හිටින නැට්‌ට හා අගිස්‌ස නයාගේ කටේය. ඒ නිසාය ඇතැමුන් බුලත් කොළය හපන්නට පෙර නටුව හරියත් අගිස්‌සත් කඩා ඉවත දමන්නේ. ඒ නැට්‌ටේත් අගිස්‌සේත් නයි විෂ ඇතැයි කියනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ දෙපොළේ තිබිය හැක්‌කේ එකතු වූ විෂබීජ ය. ඒ බුලත් නාගවල්ලි නමින් හැඳින්වේ.

සාරවිටි ලංකාවේ විකිණීමට ඇත.නමුත්,නියම සාරවිටි ඇත්තේ ඉන්දියාවේය. එහි නොයෙකුත් ගණන්වලට විකිණෙන නොයෙක්‌ තත්ත්වයේ සාරවිටි ඇත. ඉන්දියාවේ සාරවිට ඉතා සාරවත් වන්නාක්‌ මෙන් ම ඉතා සුවඳවත් ය. ඒවාට බුලත් පුවක්‌ හුණු ඉඟුරුපියලි, එනසාල්, කරාබු නැටි පමණක්‌ නොව තව තවත් දේත් සුවඳ කාරකත් යොදනු ලැබේ. මහාරාජාවරුන් හා එවැනි ධනවතුන් සපන ඇතැම් සාරවිටිවලට රත්රන්කුඩු ද ඇතුළුවන බව කියති.ශ්‍රී ලංකාව කෙතරම් නාගරීකරණයට ලක්‌වී තිබුණ ද සමාජය කෙතරම් තාක්‌ෂණික දියුණුවකට පැමිණිය ද තවමත් බුලත් විට සැපීමෙහි අඩුවක්‌ දක්‌නට නැත.අද රුපියල් 30, 35ක් ‌ පමණ බුලත් විට සමහරුන්ගේ රසම රස විකිල්ලකි. දැන් බොහෝ කඩවල විටක මිල රුපියල් තිහකි. ප්‍රස්තා පිරුළු හා උපමා කතා වශයෙන් ද බුලත හෙළ බස සරු කරයි.

බුලත් විටට හුණු අඩු වුණා වාගෙ යැයි ද හුණු නැති බුලත් විට වාගේ යැයි කීවේ ද බලවත් අඩුපාඩුවක් දැක්වීමට ය. බුලතින් පුවකින් අඩුවක් නෑ යන්න, ගහකොළ වත් පොහොසත් කමින් අඩුවක් නැතැයි කී සැටියි. බුලත් මල්ලට ( බුලත් පයියට) මිල මුදලින් අඩුපාඩු වෙනවා දැක්වීමට යෙදූ උපමාවකි.

පාරම්පරික සාර විට විකුණන්නෙකු වු එම් චාමර මහතා (34)

මම දවසකට සාර විට දෙසීයක්‌ තුන්සීයක්‌ විකුණනවා. මෙදා පාර නම් හරි සවුත්තුයි. පුවක්‌ හොයා ගන්නෙ අමාරුවෙන්. හුඟ දෙනෙක්‌ විට නැතිව ආපහු හැරිලා යනවා. අපිත් කැමතියි ඉස්‌සර ගානටම දෙන්න. ඒත් මොනවා කරන්නද පුවක්‌ නැතිනම්. විටේ කෑලි අඩු කරන්නෙ නැතිව ගාන වැඩි කරන්න වුණා.රුපියල් තිස්‌පහයි.මී පැණිත් අපි සාර විටට දමනවා. මගේ නිවස හැදුවෙත් දරුවන් ජිවත් කරන්නේ මේ රස්සාව කරලා තමයි. සාර විට උත්සව අවස්ථාවල ඒ ස්ථානවලට ගිහින් විකුණනවා. මිල බලන්නේ නැතුවම සමහරු ගන්නවා.

නගරයට ගිහින් කෙලින්ම පුවක්‌ මිලදී ගත්තා. සමහරු මඩ පුවකුත් සැපයුවා. නිතරම මගෙ ළඟ පුවක්‌ තියනවා. ඒත් දැන් මාසයක්‌ විතර ඉඳන් පුවක්‌ නෑ. ඩෙංගුවලට දඩ ගහන හින්දා මිනිස්‌සු මඩ පුවක්‌ දාන්න බයයි. මේ වෙනකොට මං පුවක්‌ ගෙඩියක්‌ දෙන්නෙ රුපියල් දහයට.සාර විට සකස්‌ කරන කළමනා අතරේ ගත් කල එයට එක්‌ කරන්නාවු දෑ විසිහයකට ආසන්නය. එම කළමනා වෙනත් මල්ලක දමාගෙන වෙළෙඳපොළට එනවා. විකිණෙන විකිණෙන තරමට තමයි යළිත් සාර විට සකස්‌ කරන්නේ. මේකට කුඩා ඉඩක්‌ තිබුණාම හොඳටම ඇති. පුළුවන්නම් පුවක්‌ ටිකක්‌ හොයාගන්න බලන්න. කොළඹ පුවක්‌ ගෙඩියක්‌ රුපියල් දොළහයි. ගමේ ගොඩේත් එහෙමයි.නිකම් විටකට නම් බුලත් කොළ තුනක්‌ දමනවා, නමුත් සාර විටකටනම් එක්‌ බුලත් කොළයයි දමන්නේ.සාර විට එදා රුපියල් 05යි. අද 50යි එහෙම තමයි මිල නියම වෙන්නේ සේරම බඩු මිල වැඩියිනේ සාර විටත් ඒ නිසා මිල වැඩිවෙලා තියනවා.

ඔන්න අප්‍රේල් මාසෙ ලිස්‌සන ගස්‌, කොට්‌ට පොර කණු හිටවන්න පුවක්‌ ගස්‌ කැපුවා. මැයි, ජුනිවල මොකද වුණේ දන්නවද. මහා තොරන රාජයො කී දෙනෙක්‌ වෙනුවෙන් පුවක්‌ ගස්‌ වන්දි ගෙව්වද. ඒ විනාශෙ ප්‍රතිඵල තමයි අද දකින්න තියෙන්නෙ. හෙට අනිද්දාට තවත් පුවක්‌ වාගේම බුලතුත් හිඟවෙයි. අනික මේ කාලයේ  බුලත් කොරටුවලින් බුලත් කඩන්නේ නෑ. පුවක්‌ ඵලදාව අඩු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ද දැන් බුලත්විටක මිල රුපියල් 30 – 40 අතර මිලකි. මෙයට හේතුව පුවක්‌ සහ බුලත් මිල ඉහළ යැමය. බුලත් විට සැපීම ශ්‍රී ලංකාවට පමණක්‌ ආවේණික පුරුද්දක්‌ නොවේ. ඉන්දියාව, පාකිස්‌ථානය, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, බුරුමය, බටහිර දිග චීනය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, මලයාසියාව, වියට්‌නාමය, පැපුවා නිව්ගිනියා, වනවාටු ආදී රටවල ද බුලත් විටි සැපීමේ සිරිත දක්‌නට ලැබේ. අග්නිදිග ආසියාව පුරා පුවක්‌ වගාව ව්‍යාප්ත වී තිබේ. ලෝකයේ දසලක්‌ෂ 600ක ජනතාවක්‌ බුලත් සැපීමට පුරුදුව සිටින නිසා පුවක්‌ වගාව සහ පුවක්‌ වෙළෙඳාම දැවැන්ත ව්‍යාපාරයකි. ඒ වටා දැවැන්ත මගඩි ද සිදු වේ. ලොව පුවක්‌ නිෂ්පාදනයේ ප්‍රධානම ස්‌ථානය හිමිකර ගෙන සිටින ඉන්දියාවේ හෙක්‌ටෙයාර් හාර ලක්‌ෂයකින්,වාර්ෂික පුවක්‌ මෙට්‌රික්‌ ටොන් 4,78,000 ක නිෂ්පාදනයක්‌ ලබා ගැනේ.

බුලත් – පුවක්‌  විට හා සාර විට වෙළඳාමෙහි නියුතු සුනිල් මහතා

මම මේ ව්‍යාපාරය සඳහා පුවක්‌ රැගෙන එන්නේ ගාල්ල,කෑගල්ල,මාවනැල්ල ප්‍රදේශවලින්. බුලත් සඳහා කුලියාපිටිය,උඩුබද්දාව ප්‍රදේශවලින් තොග වශයෙන් විකුණන පොළවල් යනවා.සතියේ දින 07 ම විවිධ පොළවල්වල විටි විකුණනවා. උදෑසන කාලය බුලත්-පුවක්‌ රැගෙන ඒම සඳහා වැය කරනවා. සවස සතිපොළවල් වල වෙළදාම් කටයුතුවල යෙදෙනවා. සිල්ලර කඩ හිමියන් හා බෝට්‌ටු සඳහා බුලත්විට සපයන්නන් මොහුගේ පාරිභෝගිකයන් වන අතර මොහුගේ අදහස නම් වෙළඳාම විටක ලාභද, විටක අලාභද සහිතව සිදුවන බවයි. විවිධ උත්සව අවස්‌ථාවල දී තැන තැන ගොස්‌ සාර විට විකුණන එස් කුමාර 34  මහතා අප සමග මේ අදහස්‌ පළ කළේ සාර විට විකුණන ගමන්ය.

අපි බුලත් වර්ගීකරණයකට ද ලක්‌ කර තියනවා. ඔවුන් ට අනුව ප්‍රධාන වශයෙන් බුලත් වර්ග 10 ක්‌ පමණ තියනවා.සමහර බුලත් වර්ග අප අපේ සාර විටට එක්‌ කර ගන්නේ නෑ. නාගවල්ලී, මහ මානේරු ( කහ මානේරු), රටදළු බුලත් ( රට බුලත්),ගල්දළු බුලත්, වැල් බුලත්,මැටි පලා බුලත්,කහ කීරිය බුලත්,ගැට කෝටු බුලත්, ගස්‌ බුලත්(ගස්‌ දළු බුලත්), ගැරඬි මානේරු මේවායෙන් සමහරක්‌ තමයි අපි සාර විටට එක්‌ කරන්නේ.

බුලත් කෑමට ලාංකිකයන් ඇබ්බැහිවීම නිසා එදා අමුතු උපකරණ නිපදවිණි. බුලත් හෙප්පුව,හුණු කිල්ලෝටය,ගිරය, පඩික්‌කම,මේ අතර වේ. නිවසක සාමාන්‍යයෙන් තිබෙන බුලත් හෙප්පුව ලීයෙන් තැනූ පෙට්‌ටියකි. පිත්තලෙන් තැනූ ඉලත් තට්‌ටුද දැකිය හැකිය. පඩික්‌කමක්‌ නිර්මාණය වූයේද මේ බුලත්විට කෑම නිසාය.සාර විටද මේ ආකාරයෙන්ම මෙම උපකරණ යොදාගෙන සකස්‌ කරනවා.

පුවක්‌, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්‌තුරි යන මේවා එදා ආර්යයන් බුලත් සැපීමේදී භාවිතා කළ බව පෙනේ. බුලත් විටට එකතුවූ තවත් විශේෂාංගයක්‌ නම් සුවඳ ද්‍රව්‍යක්‌ වූ කයිප්පුය. මේවාද සාර විටට දමනු ලබනවා.

අප සාර විටට දමන විවිධ ද්‍රව්‍ය අතර නැතහොත් ආහාර වට්‌ටෝරුවක්‌ තියනවා. සාදික්‌කා, තකුල්,හීන් එනසාල්,අරළු,සහ පුවක්‌ය.තකුල් යනු කපුකිනිස්‌සය.කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලබනවා.බුලත් පුවක්‌ සහ හුණු සංයෝග වූ විට තුන්දොස්‌ නසන බවද කියනවා.උදය වරුවේ පුවක්‌ වැඩියෙන් ද දහවල් තුන් වගය සමව ද පස්‌වරු කල බුලත් වැඩියෙන් ද රාත්‍රියේ දී හුණු වැඩියෙන් ද ගෙන බුලත් සැපිය යුතු යෑයි ඉසි භාෂිතයේ දක්‌වා තිබෙන්නේ පෙර කී ආහාර ජීරණ ක්‍රියාවලියට විට සැපීමෙන් ඉටු වන මහඟු සහාය නිසාවෙන කියලා කියමනක් තියනවා.

ගැමි ගෙදරක බුලත් විටට වඩා රජ මැඳුරේ බුලත් වඩිය විවිධත්වයෙන් යුක්‌තය. එයට පස්‌ පලවතක්‌ අඩංගු වේ යයි සැලකේ. බුලත් පුවක්‌ කපුරු කස්‌තුරි සමඟ වසාවාසි ආදිය ද එනසාල් ද දමනවා.සාදික්‌කා කපුකරිස්‌ස ඇට එනසාල් අරළු සහ පුවක්‌ ඇතුළත් සංයෝගයක්‌ ද කරාබු නැටි වසා වාසි කයිප්පු කපුරු කස්‌තුරි හා මුතුඅළු ඇතුළත් බුලත් විට ද භාවිතා කරනවා.ගම්බද ජනතාවගේ පාරම්පරික ආශ්වාදජනක කෑමක්‌ වන ‘බුලත් විට’ වල රස මතුකරන ප්‍රධානතම සාධකය පුවක්‌ය. ‘සිංහල පුවක්‌’ හා ‘රට පුවක්‌’ යනුවෙන් ලංකාවේ ප්‍රචලිත පුවක්‌ වර්ග දෙකක් තියනවා ඒ දෙවර්ගයම අපි මේ සාර විටට දමනවා.

දුටුගැමුණු රාජ්‍ය සමයේ පවා රජුගේ යුද හේවායන් සඳහා රජ ගෙදරට ‘බුලත් සැපයීමේ රාජකාරියට’ වෙන්වූ පුද්ගලයන් කීපදෙනෙක්‌ සිට ඇත. ඉන් අයෙකිබුලතා යෝධයා. (මහියංගනයේ සොරබොර වැව කරවූයේද බුලතා යෝධයාය) බුලතා යෝධයා දුටුගැමුණු රාජ සේනාවට බුලත් සපයද්දී බුලත්විටට අවශ්‍ය පුවක්‌ සපයා ගැනුණේ සබරගමුවෙන් හා මහනුවර කොත්මලේ වැනි ප්‍රදේශවලිනි.

බුලත අපේ ජන ජීවිතයේ මුද්‍රාව බඳු ය. අපි බත් රසය මෙන් ම බුලතේ කහට රසය ද එකසේ විඳි ජාතියකි. උපතේ සිට මරණය දක්‌වා වු කාල මානය ලෙස සැලකෙන ජීවිතය පුරා බුලත අපට මහර්ඝ වස්‌තුවක්‌ විය. බුලතේ ඉතිහාසය කාවන්තිස්‌ස රජු දක්‌වා දිවෙන්නක්‌ බව සහස්‌සවත්ථුප්පකරණය අනුව පෙනී යයි. කාවන්තිස්‌ස රජු කාලයේ දී භික්‌ෂූන්ට බුලත් ඇතුළුව දැහැත් පිළිගැන්වීම අනිවාර්ය කටයුත්තක්‌ව පැවති බවත් ඒ අනුව පැහැදිලි වෙයි. ගුරුදෙගුරු වැඩිහිටි වෙදැදුරුන් හට මෙන් ම මහ සඟරුවනට ද බුහුමන දැක්‌වීමේ දී බුලත් අත පෙරටු කරගත් වස්‌තුවකි.

බුලත් විට හා සාර විට හේනේ පැලේ නිදවරණ ගැමියාගේ නිදිමත හා කම්මැලි කම නැති කරන්නකි. දිය හුණු පිරවූ කිල්ලෝටය මෙන් ම ගිරය ද ගැමියාගේ මඩිස්සලේ ගැවසෙන නැතුවම බැරි අම්පන්නයෝ ය. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු යන්නෙන් කියමනක් ද ජන වහරේ පවතී. ගතවන කාලය නිදවරණ ගැමියාට නොදැනෙන්නේ බුලත් විට නිසා ය. ඔහු කාලය මැන ගන්නේ ද බුලත් විටෙනි. “බුලත් දෙවිටක් කනකොට වැඩේ ඉවරකර ගන්න පුළුවන” යන ජන කියමන මේ අනුව මතුවූවකි. බුලත් විට හපන්නාට පඩික්කම අවැසි භාණ්ඩයකි. කෙසේ නමුත්, විට හා සාර විට විකුණන වෙළෙන්දෝ බුලත් රසය අපට ලබා දී ජීවත් වීමේ අරගලයට පන්නරය දෙති.

සටහන හා ඡායාරූප –   බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, උඩුගම රවි ලියනගේ, ඉමදුව කුමාර කොඩිතුවක්කු , හබරාදුව ඒ.ඒල්. ඒ ආරියරත්න

Related posts

Leave a Comment