ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු

aparada

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන රැසක් සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුවන් දෙදෙනෙක් නුවර, කටුගස්තොට ප්‍රදේශයේ දී සහ ප්‍රධාන සැකකරු ගොතටුව ප්‍රදේශයේ දී මෙන්ම තවත් සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී වාහන ලබා ලබාගැනීමට ව්‍යාජ ලෙස සකස්කර කර තිබූ ජාතික හැඳුනුම්පත් හා රියදුරු බලපත්‍ර කිහිපයක් සොයා ගත් බවත් තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ වාහන ලියා පදිංචි පොත් කිහිපයක් සහ අපරාධ සඳහා යොදාගත් දුරකථන 12 හා ප්‍රධාන සැකකරුගේ පාවිච්චිය සඳහා සදහා යොදා ගෙන තිබූ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලබාගත් සුඛෝපභෝගී වර්ගයේ නවීන කාර් රථයක්ද අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.

මුලින් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාජ නම් තුනකින් පෙනී සිටි ලුණුවිල, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි (54) වන වියේ පසුවූ මුස්ලිම් ජාතිකයෙක් වන ප්‍රධාන සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පැවසීය.

ප්‍රධාන සැකකරු තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් ව්‍යාජ ලිපිනයන් සහ නම් යොදාගනිමින් රියදුරු බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් කිහිපයක් සකස් කර තිබූ බවත් ඒ සියල්ලම සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය. නුවර. කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ නමකින් සහ ව්‍යාජ හැඳුනුම්පත කින් පෙනී සිට ඇති බවත් අනෙක් පුද්ගලයා ද ව්‍යාජ නමකින් හා හැඳුනුම්පතකින් පෙනී සිටි ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවද පොලිසිය පැවැසීය.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් කුලී පදනම මත ලබාගත් වාහන ව්‍යාජ ලිපි ලේඛන සකසා යාපනය, මුලතිව්, කල්මුණේ, අවිස්සාවේල්ල, පිලියන්දල,අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි පදිංචි ව්‍යාපාරික පුද්ගලයන්ට ඉතා අඩු මිල ගණන් යටතේ විකුණා ඇති බවත් වාහන විකුණා ලබාගත් මුදල් සැකකරුවන් සිව් දෙනා විසින් බෙදා ගෙන විවිධ දේවල් සඳහා පාවිච්චි කර ඇති බවත් රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වාහන විකිණීමෙන් ලබාගෙන ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසීය.

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් කුලී රථ ලබාදෙන ස්ථානයකින් ලබාගත් රුපියල් කෝටියකට ආසන්න සුඛෝපභෝගී වෑන් රථයක් දින ගණනක් පාවිච්චි කිරීමෙන් අනතුරුව ව්‍යාජ ලිපි ලේඛන සකස් කර යාපනය ප්‍රදේශයට ගෙන ගොස් එහි පදිංචි පුද්ගලයකුට රුපියල් ලක්ෂ 58 ක ට විකුණා තිබියදී වාහනයේ සවිකර තිබූ ජී.පී.එස් පද්ධතිය මගින් සොයා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වූ බවත් සිදුකළ පරීක්ෂණවලින් හා ලද තොරතුරු මත සැකකරුවන් සියලු දෙනාම අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

සැකකරුවන් සිව්දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් ව්‍යාජ ලියාපදිංචි සහතික සකස් කිරීමට උදව් උපකාර කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳවද පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බස්නාහිර පළාත අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, අපරාධ කොට්ඨාස අංක එක බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් පරීක්ෂක ඒ.බී වැලිවත්ත, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර පොලිස් සැරයන් 40248 ප්‍රසන්න, 54395 විෂ්ණු, 61108 දයාරත්න, 56951 සුනිල්, 51885 කරුණාතිස්ස, 21284 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 69598 අනිල්, 72338 ලලන්ත, 84762 කුමාර, 36381 ප්‍රභාත් යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts