ටෙන්ඩරයට වෙච්ච දෙයක්

අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන අළුත් වැඩියාව සදහා අඩු මුදලක් යටතේ ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් රුපියල් මිලියන හතරකට (ලක්ෂ හතලිහක්) වැඩියෙන් ලබාදුන් ටෙන්ඩරය අනුමත කිරීමට තාක්ෂණ කමිටුව කටයුතු කිරිමෙන් රජයට විශාල මුදලක් අහිමිවි ඇති බව රෝහල සුරැකිමේ සංවිධානයේ නියෝජිතයෙකු අනාවරණය කළේය.

අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන පද්ධතියන් අළුත් වැඩියාව සදහා පසුගියදා ටෙන්ඩර් කැදවීම සිදුකළ බවත් එහිදි අනුරාධපුර ඩී.එස් සේනානායක මාවතේ පවත්වාගෙන යන රෝයල් කූල් ඉංජිනියරින් පුද්ගලික සමාගම රුපියල් ලක්ෂ 85ක මුදලකට අළුත් වැඩියාවන් සිදුකළ හැකි බව කියමින් මිලගණන් ලබාදි තිබේ.

එම මුදලට වඩා වැඩි ටෙන්ඩර් මුදලක් වන රුපියල් එක්කෝටි 25ලක්ෂයක ටෙන්ඩරය අනුමත කරමින් තාක්ෂණ කමිටුව විශාල අයතා ගණුදෙනුවකට මග එළිකර ඇති බව නිසැක සැකයක් ඇතිවි තිබෙනා බව ඔහු පැවසුවේය.

පසුගිය වසර කිහිපයේ වායු සමීකරණ අළුත් වැඩියා කළ ආයතනයේ දැඩි දෝෂ තිබූ බවත් අනුරාධපුර රෝහලේ විවිධ අංශ වල වායු සමීකරණ පද්ධති හදිසියේම මුළුමනින්ම අක්‍රියවීම් ජල කාන්දු සිදුවීම් නිසා අත්‍යාවශ්‍ය ශල්‍යාගාර හදිසියේ වසා දැමීමට හා සේවාවන් බිදවැටීම සිදුවු බව ඔහු කීවේය.

එහෙත් අත්දැකීම් ඇත්තේ අදාල ආයතනයට පමණක්ම බව කියමින් තාක්ෂණ කමිටුව වැඩි මිල ටෙන්ඩරය අනුමත කිරීම හා අත්දැකීම් නැති යන පදනමේ අඩුමිල ආයතනය බැහැර කිරීම විමතියට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.

අඩු මිල හා ඉල්ලා ඇති සුදුසුකම් වලින් අවශ්‍ය සුදුසුකම සපුරා තිබෙන ආයතනයට ටෙන්ඩරය ප්‍රධාන කළේ නම් රුපියල් මිලියන හතරක් රජයට ඉතිරි කරලීම හා ගුණාත්මක නැවුම් සේවාවක් ලබාගැනීමට වැඩි ඉඩකඩ තිබු බව ඔහු පැවසුවේය.මේ සම්බන්ධයෙන් අඩුමිල ටෙන්ඩරය සැපයූ ආයතනයේ හිමිකරු වන කැළුම් සුබසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.

මාගේ ආයතනයයි තවත් ආයතනයකුයි තමයි ටෙන්ඩර් සදහා අයදුම් පත් ඉදිරිපත් කළේ.මම රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් අඩුවෙන් ටෙන්ඩරය ඉදිරිපත් කළේ.සුදුසුකම් තමයි වසර දහයක ඉක්ටැඩ් පළපුරුද්ද හරි ඊ.එම්/4 රෙජිස්ටරය.සුදුසුකම සපුරා තියෙද්දි රුපියල් මිලියන හතරක් වැඩියෙන්.ඉල්ලා තිබෙන ආයතනයට ටෙන්ඩරය ප්‍රධානය කළා.

අපිට පළපුරුද්ද නෑ කියලා ටෙන්ඩර් කමිටුව තීරණයක් දීලා තියනවා.ඉතින් මේක හරිම පුදුම සහගත ක්‍රියාවක්.මම මේ සම්බන්ධයෙන් කිසිම ආයතනයකට තවම පැමිණිලිකරේ නෑ.නමුත් ලොකු වංචාවක් සිදුවෙලා තියනවා කියලා හොදටම තේරුම් යනවා.මේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් තමයි අයතා අන්දමින් විවිධ පුද්ගලයන්ගේ සාක්කු වලට යන්නේ යනුවෙන් ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ (වැඩබලන)වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.ඔව් එහෙම සිද්ධියක් මට දැනගන්න ලැබුණා.නමුත් ඉලක්කම් පිළිබදව මම කිසිම දෙයක් දන්නේ නෑ.නමුත් තෝරා ගැනීම සිදුකරන්නේ තාක්ෂණික කමිටුව.ඒ සම්බන්ධයෙන් ඔවුන් තමයි අවසන් තීරණයක් ගන්නේ යනුවෙන් වෛද්‍යවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts