විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70% ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීම සඳහා දියත් කිරීමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සුදානම් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කරනවා.

පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිළ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇමරිකානු තානාපතිනිය මේ බව පවසා තිබේ.

විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම හමුවට ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මියද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද සහභාගි විය.

ජාතික විදුලි පද්ධතියට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ඉහළ නැංවිමත්, ඩීසල් දායකත්වය 5% ක් දක්වා පහළ හෙලීමත් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් දැනට පවතින පුනර්ජනනීය මූලාශ්‍රයන් සංවර්ධනය කිරීමට හා නව මූලාශ්‍රයන් ගවේෂණය කිරීමටත් සැලසුම් කරමින් සිටින බව පැවසීය.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, මෙරට තුළ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ස්ථාපනය සදහා තම රටේ ආයෝජකයන්ගේ අවධානය යොමුකරවීමටත් අදහස් කරන බව ඇමරිකානු තානාපතිවරිය පොරොන්දු වී ඇත.

Related posts