ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්

අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල් 25ක පී.සී.ආර් පරික්ෂන ප්‍රථිපල දින 14ක කාලයකට පසුව ලැබීම නිසා බරපතල තත්වය මතුව තිබූ අතර එම පී.සී.ආර් පරික්ෂන වලින් පුද්ගලයන් අට දෙනෙකුට කොවිඩ් වෛරසය වැලදි ඇති බව තහවුරුවීම නිසා ආදාල ප්‍රදේශයන්ට සංචරන සීමාපැනවිම සිදුකර ආශ්‍රීතයන් සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර් යාලයේ නිලධාරින් යුහුසුළුව කටයුතු කර තිබුණි.

කොවිඩ් වැලදුණු ආශ්‍රීතයන්ගේ දරුවක් පසුගිය දින කිහිපය තුළ අදාල පාසල් වලින් අධ්‍යාපනය ලබාගැනීම නිසා අදාල පාසල් දෙකෙහි අධ්‍යාපන කටයුතු තාවකාලිකව අත්හිටුවිමට අධ්‍යාපන බලධාරින් පියවර ගෙන තිබුණි.කොවිඩ් රෝගය ආසාධනයවූ සියළුම රෝගින් අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රතා අංශයට අනියුක්තව සේවය කළ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.

දේවානම්පියතිස්සපුර නීරාවිය ප්‍රදේශයේ පවුල් 25ක පුද්ගලයන් 130කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ අතර ඉන් පුද්ගලයන් නම දෙනෙකුට වෛරසය ආසාදනයවි තිබේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22න් 21ක ආසාධිතයන් 158ක් වාර් ථාවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

Related posts