ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

flower

අපරාධයකින් හෝ හදිසි අනතුරක් නොවන ස්වාභාවික මරණයක් නිවසක් තුළදී සිදු වුවහොත් මීට පෙර පැවති ක්‍රමය වන්නේ මරණය පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වෙත දැනුම්දීමයි. එවිට ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ස්ථානයට පැමිණ දේහය පරීක්ෂාකර බලා ඥාතීන්ගෙන් කරුණු විමසා මරණය පිළිබඳ සැකයක් නොමැත්තේ නම් තාවකාලික මරණ වාර්තාව නිකුත් කරනු ලබයි. එම වාර්තාව ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී මරණය ලියා පදිංචි කර මරණ සහතිකය ලබා ගත හැකිය.

වැඩිහිටි ඥාතීන් නිවසේදීම මියගිය අවස්ථා රැසකදී මේ ක්‍රමය අනුගමනය කර අත්දෑකීම් ලබා තිබුණ ද, පසුගිය දිනෙක පවුලේ වැඩිහිටියකුගේ මරණය නිවසේදී සිදු වූ අවස්ථාවේදී කොවිඩ්-19 සංදර්භය තුළ එම ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවන බව දැනගන්නට ලැබිණි. පෙර පරිදි, තාවකාලික මරණ වාර්තාව නිකුත් කිරීමට ග්‍රාම නිලධාරීන්ට දැන් බලය නැති බව දැනගන්නට ලැබිණි. මෙම සටහන තබන්නේ දැන් ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳ මා ලද අත්දැකීම් ඇසුරෙනි. තවත් කෙනෙකුට එය ප්‍රයෝජනවත් විය හැකිය.

නිවසේ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන්, කොවිඩ්-19 හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතා සංකීර්ණ ක්‍රමයකි. නිවසකදී ස්වාභාවික මරණයක් සිදුවුවහොත් දැන් කළයුතු වන්නේ පළමුවෙන්ම අදාළ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ගොස් මරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. එහිදී පැමිණිලිකරුගේ හා මියගිය අයගේ ජාතික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හෝ පිළිගතහැකි වෙනත් හැඳුනුම්පතක් නැතිනම් අනන්‍යතාව තහවුරු කළහැකි නීත්‍යනුකූල ලියවිල්ලක් ඉදිරිපත් කල යුතුය. එම පැමිණිල්ල සඳහා මියගිය අයගේ අන්‍යතා විස්තර , පැවති රෝගාබාධ, මරණය සිදු වූ වේලාව ආදී විස්තර ලබාගනී.

පසුව පැමිණිල්ල භාර පොලිස් නිලධාරියා මරණය සිදුවූ ස්ථානයට පැමිණේ. එහිදී මියගිය අයගේ දේහය පරීක්ෂා කර බලා දේහය පිළිබඳ විස්තර සටහන් කරගනී. දේහයේ උස, හිසකෙස්වල ස්වභාවය, හිස කෙස්වල දිග, ඇඳ සිටි ඇඳුම, එහි වර්ණය, සිරුරේ ඇති විශේෂ ලක්ෂණ , දේහය තබා ඇති විලාසය, තබා ඇති ස්ථානීය විස්තර හා අදාල පරිශ්‍රයේ දළ සැලැස්මක් ද ලබාගනී. ඒ සමඟම මියගිය අයගේ සියලුම විස්තර ද සටහන් කරගනී.

ඉන්පසු දේහය ළඟම ඇති රෝහලට රැගෙන යායුතුය. ඒ සඳහා ප්‍රවාහන පහසුකම් දේහය හිමිකරුවන් විසින් සැපයිය යුතුය. දේහය පිළිබඳ අවසන් කටයුතු කරන අවමංගල්‍ය සේවා ආයතනයෙන් එම පහසුකම ලබා ගැනීමට පුළුවන. දේහය සමඟ රෝහලට මරණය පිළිබඳව දැනුම් දෙන්නා යායුතුය. පොලිස් නිලධාරියා ද පැමිණේ. රෝහලේදී රෝහල් වෛද්‍යවරයෙකු විසින් දේහය පරීක්ෂා කර මියගොස් ඇතිබවට තහවුරු කර ගනී. නැවත මියගිය අයගේ විස්තර රෝහල වෙත ලබාදිය යුතුය. දීර්ඝකාලීනව බෙහෙත් ගත්තේ නම් එම සායන ලියකියවිලි ආදී විස්තරද මිය ගිය අයගේ හැඳුනුම්පත ද එහිදී ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂණය භාර පොලිස් නිලධාරියාගේ විස්තර ද රෝහලෙන් ලබා ගනී. දේහය භාර ගැනීමෙන් පසු එය රෝහල් මෘතශරීරාගාරය වෙත යැවේ.

ඉන් පසුව මියගිය අයගේ භාරකරු අදාල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හමුවී මිය ගිය අය එම වසමේ ස්ථීර පදිංච්කරුවෙකු බවට වන පදිංචි සහතිකයක් ලබාගත යුතුය. පසුව එම පදිංචි සහතිකය, මියගිය අයගේ ජාතික හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කළහැකි පිළිගත් ලියවිල්ලක් හා මියගිය අයගේ භාරකරුගේ ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කළහැකි පිළිගත හැකි ලියවිල්ලක් සමඟ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා (PHI) වෙත ඉදිරිපත් කළ යුතුය. දැනට පවතින කොවිඩ් වසංගත තත්වය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මියගිය අය ජීවත් වූ ප්‍රදේශයේ තත්වය හා මියගිය අය පිළිබඳව එම භාරකරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත එම දේහයේ PCR පරීක්ෂණයක් කළ යුතුද නැද්ද යන්න තීරණය කර වාර්තාවක් නිකුත් කරයි. පසුව එම වාර්තාව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලවා සහතික කරගත යුතුය.

එම වාර්තාව, මියගිය අය කිසියම් රෝගයක් සඳහා රජයේ රෝහලක හෝ පෞද්ගලික අංශයේ සායනයකට සහභාගී වී ප්‍රතිකාර ලබා ඇත්තේ නම් එම ලියවිලි, වෛද්‍ය වාර්තා ඇත්නම් ඒවාද සමඟ පරීක්ෂණය භාර පොලිස් නිලධාරියා හමුවී ඔහුගේ මාර්ගයෙන් රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. අධිකරණ වෛද්‍ය නිලධාරියා, පොලිස් නිලධාරියා ලබා දෙන තොරතුරු හා මියගිය අයගේ භාරකරුවා විසින් ලබා දෙන තොරතුරු ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිකුත් කරන ලද වාර්තාව ද සැලකිල්ලට ගෙන දේහය සඳහා PCR පරීක්ෂණයක් කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව අවසාන තීරණය සහිත වාර්තාව නිකුත් කරයි. එහිදී PCR අනවශ්‍ය යැයි තීරණය වුවහොත් ඉදිරි නීතිමය කටයුතු සම්පූර්ණ කර නීතිමය ගැටලුවක් නොවේ නම් එදිනම දේහය ඥාතීන්ට ලබා ගැනීමට හැකිවේ. යම්හෙයකින් PCR පරීක්ෂණයක් අවශ්‍යයැයි නිර්දේශ වුවහොත් එම පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු දේහය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තබනු ලබයි.

පසුව පරීක්ෂණය භාර පොලිස් නිලධාරියා මියගිය අයගේ ඥාතීන්ගෙන් කට උත්තර ලබා ගනී. මරණය සිදු වූ වේලාව, මරණය සිදුවන අවස්ථාවේ ලඟ සිටියේ කවුරුන්ද වැනි කරුණු විමසනු ලැබේ. එහිදී මිය ගිය අයගේ ලඟම ඥාතීන් දෙදෙනෙකුගෙන් කට උත්තර ලබාගැනීම සිදු කරයි. පොලිස් නිලධාරියා ඉදිරියේ දේහය හඳුනා ගත යුතුය. මරණය පිළිබඳව සැකයක් නොමැත්තේ නම් එම පොලිස් වාර්තාව, PCR වාර්තාව ,මියගිය අයගේ හැඳුනුම්පත, සායන වාර්තා, වෛද්‍ය වාර්තා ඇත්නම් ඒවාද සමඟ ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක වෙත පොලිස් නිලධාරියා විසින් ඉදිරිපත් කරනු ලබයි. එහිදී ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලා මරණ පරීක්ෂණයකින් තොරව දේහය නිදහස් කරන්නේ නම් එසේ නිදහස් කර ඥාතීන්ට භාර දෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නම් දේහය ඒ සඳහා යොමු කෙරේ.

හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් දේහය පිළිබඳ ඉදිරි අවසන් කටයුතු සිදුකර ගැනීමට පුළුවන. සුසාන භූමිය වෙන් කර ගැනීමේ දී එම වාර්තාවේ ඡායා පිටපතක්, මිය ගිය අයගේ හැඳුනුම්පතේ ඡායාපිටපතක් අදාල ආකෘති පත්‍රය පුරවා අදාල පළාත්පාලන ආයතනයට භාර දිය යුතුය.

හදිසි මරණ පරීක්ෂණ වාර්තාව හා මියගිය අයගේ හැඳුනුම්පතේ ඡායාපිටපතක් , මරණය පිළිබඳව දැනුම් දෙන්නාගේ හැඳුනුම්පතේ ඡායාපිටපතක් සමඟ අදාළ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී මරණය ලියාපදිංචි කර මරණ සහතිකය ලබා ගත යුතුය.

නිශාන් පෙරේරා

praja

Related posts