සුරාන්ත ලිංගිකත්වයේ පුරෝගාමී මරී බොනපාට් ගේ කතාව

මරී බොනපාට් රාජකීය පවුලක සාමාජිකාවක් වූ නමුත් විප්ලවකාරී අදහස් සහිත කාන්තාවක් වූවාය. ඇතැමෙකුට ඇය කාන්තා ලිංගිකත්වයට අදාළ කරුණු වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමී චරිතයකි. තවත් පිරිසකට ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත ධනවත් කාන්තාවකි.

ඇය දහනව වෙනි සියවසේ අගභාගයේ උපත ලැබ, විසිවෙනි සියවසේ මැදභාගය තෙක් ජීවත් වූ මරී බොනපාට් (1882-1962)නම් ප්‍රංශ ජාතික කාන්තාවයි. මරී නෑකම අනුව ප්‍රංශයේ පළමු නැපෝලියන් අධිරාජයාගේ ලේලියක වූවාය. එසේම ඇය බ්‍රිතාන්‍ය රැජිනගේ වල්ලභයා වන එඩින්බ්‍රාහි ආදිපාද පිලිප් කුමරාගේ නැන්දනියකි. මරී ගැන අවධානය යොමු නොකොට ඉතිහාසය කියවිය නොහැක යන්න සත්‍ය ප්‍රකාශයක් වෙයි.

උපතින් රජකුමරියක වූ මරී බොනපාට්ගේ ජීවිතයේ ප්‍රධාන අභිලාෂය වූයේ සුරතාන්තය ලෙස සඳහන් කෙරෙන කාන්තා ලිංගිකාශ්වාදයේ උච්ඡතම මොහොත සහ මානසික තත්ත්ව පරීක්ෂණය විය.

එම අභිප්‍රායයෙන් ශිෂ්‍යාවක් වීමට ගිය ඇය නූතන මනෝවිද්‍යාවේ පීතෘවරයෙකු ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් ආරක්ෂා කිරීමට පවා කටයුතු කළාය.

මරී බොනපාට්ගේ ජීවිත කතාව රචනය කළ ලේඛකයන්ට අනුව, ඇය විද්‍යාත්මක කරුණු විශ්ලේෂණයේ නිරතවූවන් ඇතුළත් සමූහයන් තුළ එසේත් නැත්නම්, රාජකීයයන්ගේ ලෝකය තුළ සමානත්වය වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකි. එසේම ඇය කාන්තාවන්ගේ ලිංගික සතුට සම්බන්ධයෙන් පිළිතුරු සොයමින් සිය ජීවිත කාලය පුරාම ගවේෂණයේ නිරතවෙමින් සිටියාය.

රජ කුමරිය

මරී බොනපාට් පැරිස් නගරයේ සුප්‍රකට එසේම ධනවත් පවුලක දියණියකව උපත ලද්දාය. ඇය ප්‍රංශයේ රෝලන්ඩ් නැපෝලියන් බොනපාට් කුමරාගේ සහ මරී ෆීලික්ස් ගේ දියණිය වූවාය.

මොන්ටි කාර්ලෝ කැසිනෝ (Casino Monte Carlo) ව්‍යාපාරයේ නිර්මාතෘ සහ විනෝදාශ්වාදය සැපයීමේ ව්‍යාපාරිකයකු වූ මහා ධනස්කන්ධය නිසා මහා ප්‍රසිද්ධියක් ලද ප්‍රාන්ෂුවා බ්ලාංක් (Francois Blanc) මවගේ පාර්ශ්වයෙන් ඇයගේ මුත්තණුවන් විය.

එහෙත් මරීගේ ජීවිත කතාව කියවන විට එය ආරම්භයේ පටන්ම ශෝකාන්තයකි. උපතේදීම ඇය යාන්තමින් නොමැරී රැකුනාය. එහෙත් ඉන් මසකට පසුව බිළිඳු කුමරියට සිය මව අහිමි විය. කරදරවලින් පිරුණ ඇයගේ ළමා දිවිය ගෙවී ගියේ හුදෙකලාවෙනි.

ඇසුරට වෙනත් ළමුන් නොමැති කල ළදරු කුමරිය මානව විද්‍යාඥයකු සහ භූගෝල විද්‍යාඥයකු වූ සිය පියා වෙතම කැප වූවාය. එහෙත් ඇය පිය පාර්ශ්වයේ මිත්තණියට මහත් බියපත් වූවාය.

එහෙත් සිය දිවිගමන ආරම්භයේ පටන්ම මරී කුතුහලය සහිත චරිතයකි. විද්‍යාව, සාහිත්‍යය සහ ලේඛන කලාව කෙරෙහි උනන්දුවක් සහිත ඇය සිය සිරුර කෙරෙහිද අවධානය යොමු කළාය.

සිය යොවුන් වියේදී කැරලිකාරී චරිතයක් සහිත යුවතියක වූ මරී “ස්ත්‍රීන් යටත්ව සිටිය යුතුය” යන අදහස පවා බැහැර කළාය.

සිය යොවුන්වියේ දී මරී වැඩි වශයෙන් ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාවන් ඇතුළුව භාෂා අධ්‍යයනය සාර්ථකව ආරම්භ කළාය. එහෙත් තවත් විභාග සඳහා ඇය පෙනී සිටීම ඇයගේ පියා සහ මිත්තණිය විසින් හිටිහැටියේ තහනම් කරනු ලැබුණි.

“බොනපාට්වරුන්ගේ සතුරන් වන ජනරජවාදී සතුරන් සිය පවුලට පීඩා කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් එම විභාග කඩාකප්පල් කරනු ඇතැයි මාරිගේ පියා සහ මිත්තණිය ප්‍රකාශ කර ඇතැයි” මාරිගේ දිනපොත් උපුටා දක්වමින් නෙලී තොම්සන් (Nellie Thompson) සඳහන් කරයි.

ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳව හැදෑරීම සහ ගවේෂණයේ නිරතවීමේදී තමා කුමරියක් වීම මාරී ඊට බාධාවක් කර නොගත්තාය

 

පියාගේ සහ මිත්තණියගේ එම තීන්දුව මරීගේ බලවත් විරෝධයට හේතුවී ඇතැයි නෙලී තොම්සන් පවසයි.

“මගේ නම – මගේ පට්ටම -තරාතිරම – මට උරුම මහා ධනස්කන්ධය මහා ශාපයක්! විශේෂයෙන් ම මගේ ලිංගිකත්වය මට ශාපයක්! මොකද? මම කොල්ලෙක් වුනානම්, මම උත්සාහයක නිරතවීම ඔවුන් නතර කරන්නේ නැහැ,”මරී කෝපයෙන් කෑගැසූ බව නෙලී තොම්සන් සඳහන් කර ඇත.

සිය සිරුරේ ලිංගික අවදිවීම් සිදුවෙමින් පවතින අතරවාරයේ මරී බොනපාට් තමාට වයස අවුරුදු විස්ස පිරීමට පෙර විවාහක පුරුෂයකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගත්තාය. ඔහු ඇයගේ පියාගේ කාර්ය මණ්ඩලයේ සහකරුවකු විය.

එම සම්බන්ධය කෙළවර වුණේ, ඇය අපචාරයකට, හංවඩු ගැසීමකට සහ පීඩාවකට ගොදුරු වීමෙනි.

මරීගේ පියා එම කාරණය නිරාකරණය කරන ලද්දේ තම බෑණා වීමට කැමැති ග්‍රීසියේ සහ ඩෙන්මාර්ක්හි ජෝර්ජ් කුමරුන්ට (1869-1957) සිය දියණිය හඳුන්වා දීම මගිනි. ජෝර්ජ් කුමරු මරී ට වඩා අවුරුදු දහතුනකින් වැඩිමහල් විය.

මරී බොනපාට් ජෝර්ජ් කුමරු සමඟ විවාහවීමට එකඟ වූ අතර 1907 වසරේ දෙසැම්බර් මස 12 දින ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ දී ඔවුහු විවාහ වූහ.

එම විවාහයෙන් ඔවුන් දරුවන් දෙදෙනකු ලද නමුත් එය ප්‍රීතිමත් විවාහ ජීවිතයක් නොවුණි. ඉයුජින් කුමරිය සහ පීටර් කුමරු ඔවුන් ලද දරුවන් දෙදෙනාය.

ඔවුන්ගේ විවාහ ජීවිතය වසර පනහක පමණ කාලයක් පැවතුනත්, තම සැමියාගේ සිතෙහි සැබෑ බලවත් බැඳීම පැවතියේ ඔහුගේ මාමා වූ ඩෙන්මාර්ක්හි Valdemar කුමරුන් සමඟ බව මරී වහාම තේරුම් ගෙන තිබුණි.

එම තේරුම් ගැනීමත් සමඟ මරී තමා සඳහා පෙම්වතුන් දිනාගැනීමට තීන්දු කළ අතර, ලිංගික අකර්මණ්‍යතාවකට මුහුණ දීමට සිදුවනු ඇත යන බියකින් ද පෙළුනාය. එවැනි පරිසරයක ඇය සිය ආරවුල් පිරුණ ජීවිතයට අස්වැසිල්ලක් ලබාගන්නා ලද්දේ අධ්‍යයන කටයුතුවල නිරත වීමෙනි.

ස්ත්‍රී ලිංගිකත්ව විමර්ශනය

මරී මෙහෙයවනු ලැබ තිබෙන්නේ ඇය තුළ කැකෑරෙමින් පැවති බුද්ධිමය පිපාසය, ලිංගිකත්වයේ ස්වභාවය පිළිබඳව වටහාගැනීමේ උවමනාව සහ ස්ත්‍රී සන්තුෂ්ටිය පිළිබඳව තොරතුරු විපරම් කිරීමේ අභිලාශය මගිනි.

ඒ.ඊ. නර්ජනී (A.E. Narjani) යන ව්‍යාජ නාමයකින් මරී බොනපාට් විසින් රචිත “ස්ත්‍රී අකර්මන්‍යතාව පිළිබඳ කායමය හේතූන් පිළිබඳ සටහන්” (“Notes on the anatomical causes of frigidity in women”) නම් නිබන්ධය 1924 දී ප්‍රකාශයට පත්කරනු ලැබුණි.

“සංසර්ගයේ නිරතවීමේ දී ඇය කිසිදාක සුරතාන්තයට පත් නොවීම මගින් මරී අපේක්ෂාභංගත්වයට පත්ව සිටියා,” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ එමෝරි සරසවියේ (Emory University) ශාරීරික ශ්‍රාව වහනය පිළිබඳ විද්‍යාංශයේ මහාචාර්ය කිම් වොලන් (Prof. Kim Wallen) පවසයි.

“ස්ත්‍රියකට සුරතාන්තයට පත්විය හැක්කේ කෙළින්ම භගමනි උත්තේජනය කිරීමක් මගින්ය යන විශ්වාසය මරී පිළිගත්තේ නැහැ,” මහාචාර්ය වොලන් බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

සංසර්ගයේ යෙදෙන අතරවාරයේ කාන්තාවක් සුරතාන්තයට පත් නොවේනම් එමගින් කායමය ගැටළුවක් අනාවරණය වෙන බව මාරී අදහස් කර ඇත.

 

එම වටහා ගැනීම අනුව ඇය න්‍යායක් ගොඩ නැගුවාය. “ස්ත්‍රියකගේ භගමනිය සහ යෝනිය අතර පරතරය කෙටි වන තරමට ස්ත්‍රී-පුරුෂ සංසර්ගයේ දී ස්ත්‍රියකට සුරතාන්ත අත්දැකීමක් ලැබීමේ හැකියාව වැඩිවේ,” යයි එමගින් කියැවෙයි.

මරී සිය න්‍යාය තහවුරු කිරීම සඳහා 1920 දශකයේ පැරිස් නගරයේ ජීවත්වූ 240කට අධික කාන්තාවන්ගේ මිණුම් එක්රැස් කර තිබුණි.

මරී බොනපාට්ගේ ප්‍රකාශනය අනුව, “එම තොරතුරු ක්‍රමවත් සමීක්ෂණයකින් නොව කාන්තාවන් ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගැනීම සඳහා ගිය අවස්ථාවන්හි ලද ප්‍රකාශන මත පදනම් වෙන,” බව ආචාර්ය එලිසබත් ලොයිඩ් (Dr Elisabeth Lloyd) සමඟ මරී බොනපාට්ගේ කෘතීන් අධ්‍යයනය කළ මහාචාර්ය වොලන් පෙන්වා දෙයි.

ඉහත සඳහන් කරන ලද විශේෂඥයන්ට පවසන පරිදි “මරී බොනපාට් ඇය විසින් සොයාගන්නා ලද සාම්පල් කොටස් තුනකට වර්ගීකරණය කර ඇත. එම වර්ගීකරණය සිදුකරන ලද්දේ යෝනි පිවිසුම සහ භගමනිය අතර පරතරය සැලකිල්ලට ගනිමිනි. එහෙත් එම බෙදීම තීන්දු කරන ලද්දේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විස්තර කිරීමක් කරනු ලැබ නැත.”

“මරී බොනපාට් තුළ සිත්ගන්නා සුළු උපන්‍යාසයන් (අනුමානයන්) තිබුණා. ඇය ‘ස්ත්‍රීන් යනු එකිනෙකාගෙන් වෙනස් වූ නිර්මානයන්ය’ යන න්‍යායවාදයේ පුරෝගාමීව කටයුතු කළ තැනැත්තියක්. කාන්තාවන් සංසර්ගයේ දී වෙනස් වූ ප්‍රතිචාර දැක්වීමට හේතුව එම කාරණය බව මරීගේ තේරුම් ගැනීම වුනා,” ආචාර්ය ලොයිඩ් බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළාය.

“කාන්තා කාය විවච්ඡේදනය සම්බන්ධයෙන් අවධාරණය කිරීම අතින් මරී බොනපාට් ඉදිරිපත් කරන න්‍යායේ දී මානසික මුහුකුරායාම වැනි වෙනත් පැති සැළකිල්ලට ගෙන නැහැ. එහෙමත් නැත්නම්, කාන්තාව ස්නායු ආබාධයකින් හෝ උනන්දුවන් නොමැති ජීවිතයක් ගත කරන්නේද? යන්න සලකා නැහැ. එම අවධියේ කාන්තාවන්ට අදාළ වූ නිෂේධාත්මක ආරෝපනයන් ඉස්මතු කිරීමක් එමගින් සිදුකර තිබෙනවා,” ආචාර්ය එලිසබත් ලොයිඩ් පෙන්වා දෙන්නීය.

කාන්තාවන් සිය භගමනිය යෝනියට සමීපකිරීමේ ශල්‍යකර්මයකට මුහුණදුන් නමුත් එම කාන්තාවන් සංසර්ගයෙහි යෙදීමේදී සුරතාන්තයට පත්වීමට හැකිවනු ඇතැයි බොනපාට් විශ්වාස කර තිබෙන්නේ ඇයගේ ඉහත කී නිගමන අනුවය. අවාසනාවකට ඇයගේ විශ්වාසය නිවැරදි නොවීය.

“ශල්‍යකර්මයක් කියන්නේ ආපදාවක්. සමහර කාන්තාවන්ට එමගින් සියලුම සංවේදනා අහිමිවෙනවා. එහෙත් මරී බොනපාට් ඇයගේ මතය වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. අකර්මණ්‍ය කරගැනීමෙහිලා ඇයත් ශල්‍යකර්මයකට භාජනය වෙලා තියෙනව,” මහාචාර්ය වොලන් විස්තර කරයි.

එක් වතාවක් නොව, නිර්දේශ කරනු ලැබීමකින් තොරව ඇය තුන්වතාවක්ම ශල්‍යකර්මයන්ට යොමුව ඇත.

“භගමනිය අවට නහර රැසක් ඡේදනය මගින් එමගින් ඉන්ද්‍රිය සම්බන්ධ සංවේදී ප්‍රතිචාර දැනීම අහිමි වීමක් සිදුවෙනවා. හේතුව, ඡේදනය කෙරෙන්නේ ඉතා වැදගත් නහරවීම නිසා,” ආචාර්ය එලිසබත් ලොයිඩ් පැහැදිළි කළාය. ආචාර්ය ලොයිඩ් ඉන්දියානා සරසවියේ ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සහ විද්‍යාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්යවරියකි.

“සංසර්ගයේ දී ස්ත්‍රියකට සුරතාන්තයට පත්විය හැකි එකම මාවත ශල්‍යකර්මය යයි මරී විශ්වාස කළා,” මහාචාර්යවරිය පෙන්වා දෙයි.

 

සිග්මන් ෆ්‍රොයිඩ් සමඟ දැඩි මිතුරුකමක්

 

එසේ වුවත්, මරී බොනපාට් සිය ප්‍රයත්නය අත් නොහළාය. ඇය සිය ලිංගික බලාපොරොත්තු බිඳවැටීම් සහ ජීවිත දුෂ්කරතාවලට පිළිතුරු සෙවීමේ කාර්යයේ දිගටම නිරතවෙමින් සිටියාය. මාරී 1925 වසරේ වියානා බලා ගමන්ගත්තේ විසඳුමක් සොයාගැනීමේ අපේක්ෂාවෙනි. එම අවධියේ මතුවෙමින් සිටි මනොවිශ්ලේෂකයකු වූ සිග්මන් ෆ්‍රොයිඩ් හමුවී උපදෙස් ගැනීම ඇයගේ අභිප්‍රාය විය.ෆ්‍රොයිඩ් පැරිසියේ වෛද්‍ය කණ්ඩායම් අතරත් එවකට මාතෘකාවක් වී තිබුණි.

”මරී ඇයට තදින්ම අවශ්‍ය කළ දෙය ෆ්‍රොයිඩ් තුළින් සොයාගත්තා. ආදරය කිරීමට සහ සේවය කිරීමට නව “පිතෘවරයෙක්” තොම්සන් සිය රචනාවේ සඳහන් කරන්නීය.

මරී බොනපාට් ෆ්‍රොයිඩ්ගේ රෝගියකු වූවාය. එහෙත් එම වෛද්‍ය-රෝගී සම්බන්ධය දිගුකලක් නොපැවති නමුත් ඔවුන් අතර මිත්‍රත්වය ඊට වඩා දිගුකල් දිවගිය එකක් විය.

ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍යාවක් ලෙස මනොවිශ්ලේෂණය සම්බන්ධයෙන් ඇයගේ උනන්දුව සීඝ්‍රයෙන් වැඩුණි.

“මරී බොනපාට් මනෝවිශ්ලේෂණය සම්බන්ධයෙන් හැදෑරීමක නිරත වූ පළමු කාන්තාවන්ගෙන් එක් තැනැත්තියක්. විශේෂයෙන්ම ෆ්‍රොයිඩ්ගෙන් එම විෂය ඉගෙනීම අතින්,” ස්විට්සර්ලන්තයේ ‘Lausanne’ සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය Rémy Amouroux බීබීසියට පැවසීය.

“ෆ්‍රොයිඩ්, මරීගේ ඇසුරින් සතුටු වුනා. හේතුව ඇය අනතුරුදායක කාන්තාවක් හෝ ඉහළ අධ්‍යාපනය සහිත තැනැත්තියක් නොවීම. ෆ්‍රොයිඩ්ට මරී හමුවෙන විට ඔහු වයස අවුරුදු හැත්තෑවට කිට්ටු කෙනෙක්. ඒ වගේම ඇය සිත්ගන්නා සුළු, බුද්ධිමත් සහ ධනවත් කාන්තාවක්. ඇය ෆ්‍රොයිඩ් සමඟ වාදවිවාදවල නිරත වුනා,” මහාචාර්ය Rémy Amouroux වැඩිදුරටත් සඳහන් කරයි.

මරී බොනපාට් පැරිස් නගරයේ මනොවිශ්ලේෂණ සමාජයේ මුල්පෙළේ චරිතයක් බවට පත්වූවාය. සක්‍රීය කුමරියක් හැටියට ඇය සිය නිල දිනපොතෙහි ඇතුළත් රෝගීන් කීපදෙනකු සුවපත් කිරීමට ද සමත්ව ඇත.

එසේම ජර්මන් නාසිවාදීන් විසින් ඔස්ත්‍රියාව යටත් කරගත් අවස්ථාවේ අහම්බයකින් මෙන්, ෆ්‍රොයිඩ්ගේ ජීවිතය බේරාගැනීමට ද ඇය සමත් වූවාය.

මරී බොනපාට් සිය ධනය සහ බලය උපයෝගී කරගනිමින් සිග්මන් ෆ්‍රොයිඩ් සහ ඔහුගේ පවුලට වියානා නගරයෙන් පිටව ලන්ඩන් කරා පැන ගැනීමට කටයුතු යෙදුවාය. ඒ අනුව ෆ්‍රොයිඩ් ගේ ජීවිතයේ අන්තිම දවස් ලන්ඩන් නගරයේ ගතවිය.

මරී බොනපාට් සිග්මන් ෆ්‍රොයිඩ් සහ ඔහුගේ පවුලට එංගලන්තයට පළා යාමට උපකාර වූවාය. වමේ සිට; ඇනා ෆ්‍රොයිඩ්, මරී බොනපාට්, සිග්මන් ෆ්‍රොයිඩ් සහ මාරිගේ සැමියා ජෝර්ජ් කුමරු. 1938 ඩෙන්මාර්ක් දුම්රිය පොළක දී.

“ජර්මන් ආක්‍රමණය නිසා අසූ දෙවැනි(82) වියේ සිටියදී මට මගේ නිවහන වූ වියානා නගරය හැරදමා එංගලන්තයට පැමිණීමට සිදුවුනා. ජීවිතයේ අන්තිම දවස් එංගලන්තයේ නිදහසේ ගතකිරීම මගේ බලාපොරොත්තුවයි,” ෆ්‍රොයිඩ් 1938 වසරේ සාකච්ඡාවක දී බීබීසියට ප්‍රකාශ කර ඇත.

නිදහස් කාන්තාවක්

වෘත්තීය මුහුකුරායාම මගින් අන්තිමේ දී මරී බොනපාට් ස්ත්‍රීන්ගේ ලිංගික හැඟීම් පිළිබඳ සිය න්‍යාය විසංවාදයට ලක්කරනු ලැබ ඇත.

“මාරී බොනපාට් පසුව සිය මුල්කාලීන අදහස් සහමුළින්ම බැහැර කර තිබෙනවා,” මහාචාර්ය වොලන් පවසයි.

මරී 1950 වසරේ “ස්ත්‍රී ලිංගිකත්වය” (‘Female Sexuality’) නමිත් නව ග්‍රන්ථයක් එළිදක්වා ඇත. එම කෘතිය මගින් ඇය සිය පළමු හැදෑරීම්වලට ඇතුළත් සියල්ල වෙනස්කර තිබෙනවා,” මහාචාර්යවරයා පෙන්වා දෙයි.

“කායික වශයෙන් නොව සියල්ල මානසික වශයෙන් රඳා පවතින බව ඇය එමගින් ප්‍රකාශ කරනවා. ඒ නිගමනවලට එනවිට මරී බොනපාට් අවුරුදු විසිපහකට ආසන්න කාලයක් මනොවිශ්ලේෂණයේ නිරතවෙලා තිබුණා,” මහාචාර්ය වොලන් සඳහන් කරයි.

“එම වෙනස්වීම නොතකා මම තවමත් සිතන්නේ ඇයගේ පළමු හැදෑරීම් අතිවිශේෂ බවයි,” මරී බොනපාට් විප්ලවීය අදහස් සහිත ස්ත්‍රියක් ලෙස දකින මහාචාර්ය වොලන් කියාසිටියේය.

හැමවිටම පුරුෂ කෝණයෙන් විග්‍රහ කරනු ලැබ ඇති හෙයින් ස්ත්‍රී ලිංගිකත්වය වරදවා තේරුම්ගනු ලැබ ඇති බව බොනපාර්ට් වටහා ගත්තාය

ආචාර්ය ලොයිඩ් අදහස් කරන ආකාරයට “මරී බොනපාට් අපූරු මනහර චරිතයකි. දුක්මුසු ජීවිතයක් වූයේ නමුත් ඇය වීරවරියකි.”

”බොනපාට් සිය සිරුර සම්බන්ධයෙන් බලවත් අසතුටකින් සිටි නමුත් දැනුම සහ අවබෝධය අතින් ඇය ඇගේ යුගයෙහි ඉදිරියෙන් සිටි තැනැත්තියක්,” ආචාර්ය ලොයිඩ් පවසයි.

පැරිස් නගරයේ සිටිමින්, මරී බොනපාට්ගේ ලේඛන නාමාවලියක් ලෙස ක්‍රමවත්ව ලැයිස්තුගත කළ මහාචාර්ය Prof Amouroux ගේ අදහස මෙවැන්නකි. “මරී බොනපාට් විශ්මය දනවන සුළු කාන්තාවකි.”

මරී බොනපාට්, ඇය ජීවත්වූ අවධියේ ශාස්ත්‍රීය,දේශපාලන සහ රාජකීය ආදී වශයෙන් සියළු සමාජ සමූහ සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධතා පවත්වන ලද්දේ ඇදහිය නොහැකි මට්ටමිනි. විසිවෙනි සියවසේ පළමු භාගයේ සියළු සුප්‍රකට චරිත ඇය දැන හැඳින සිටියාය.

”ස්ත්‍රීවාදී ව්‍යාපාරයටත් ඇය මහත් ප්‍රයෝජනවත් චරිතයක්” මහාචාර්ය Prof Amouroux පවසයි.

මරී බොනපාට් චින්තනය අතින් නිදහස් කාන්තාවක් වූ අතර, සිග්මන් ෆ්‍රොයිඩ්ට අභියෝග කිරීමට තරම් නිර්භීත වූ සංකීර්ණ ස්ත්‍රියක වූවාය.

අනාලියා ලොරෙන්තේ BBC මුන්ඩෝ

උපුටා ගැනීම BBC සිංහල

Related posts