හීනය පසුපස ගොස් නිදන් හාරා රක්ෂිත බන්ධනාගාරට

arest

වසර කිහිපයකට ඉහතදි මියගිය මව විසින් නිවසේ කාමරය පිහිටි බිමේ වටිනා වස්තු සම්භාරයක් තිබෙනා බව හීනයෙන් පැවසීම නිසා එය සොයා කාමරය තුළ විශාල කැනීමක් සිදුකරමින් සිටි විශ්‍රාමික පොලිස් රියදුරෙකු හා ඔහුගේ පුත්‍රයාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ව මේ මස (20දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

අනුරාධපුර කලත්තෑව මිහිදු මාවත ලිපිනයේ පදිංචි 65 හැවරදි පියා හා 35 හැවරදි පුත්‍රයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.නිවසේ කාමරක් තුළ විශාල කැනීමක් සිදුකෙරෙමින් පවතින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදුකර තිබුණු අතර ස්ථානය වටලන විට විශ්‍රාමික පොලිස් රියදුරාගේ පුත්‍රයා අධික ගැඹුරු කැනීමේ අට්ටාලයක් සකසාගෙන පොලව කනිමින් සිටි බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

අඩි 10හා 12පළලින් යුතුවු කාමරයේ අඩි 4-1/2 පළල අඩි හතරක් දිග සහා අඩි 15ක් ගැඹුර කැනීමක් සිදුකර තිබු බවත් එම ස්ථානයෙන් අඩියක් පමණ ජලය රැදී තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකාර පියා සහ පුත්‍රයා සතියක පමණ කාලයක් ඉතා හොර රහසේ කැනීම සිදුකර තිබෙනා බවත් ඔවුන් කැනීමෙන් ඉවතද දමා තිබූ පස් වලින් කොටසක් නිවසේ තබා ගෙන ඔවුන්ට අයත් පැල තවානේ විකිනීම සදහා පැකට් කර තිබෙනා බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

වැටලීම කළ ස්ථානයේ තිබි උදළු අලවංගු ලණු බාල්දි ඉනිමගක් වයර් බල්බ ඇතිළු නඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවි තිබුණි.සිය මියගිය මව විසින් නිවසේ නිධානයක් ඇති බවට අවස්ථා කිහිපයකදිම හීනයෙන් පැවසු බවත් ඒ හේතුවෙන් තරියන්කුලමේ පිහිටි දේවාලයකට ගොස් ශ්‍රාස්ත්‍ර බැලු අවස්ථාවේ නිදන කාමරයේ කැනීම සිදුකරනා ලෙස උපදෙස් දුන් බව විශ්‍රාමික පොලිස් රියදුරා පොලිස් අත්අඩංගුවට පත්වු අවස්ථාවේ පැවසු බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකරුවන් කැනීම සිදුකළ ස්ථානය පුරාවිද්‍යා බිමක්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් වාර්ථාවක් කැදවා තිබුණත් එම වාර්ථාව අධිකරණයට ලැබි තිබුණේ නැත.

අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.ඩබ් ඇල්ලේපොල මහතාගේ උපදෙස්මත පොලිස් පරික්ෂක කරුණාරත්න පොලිස් සැරයනක්වරුන් වන 31166 හරස්ගම 36446 වීරකෝන් පොලිස් කොස්තාපල් 28118 පෙරේරා යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts