46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

un

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ යෝජනාවක් අද දින බහුතර ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළහ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටෙනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික කණ්ඩායම විසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනා සම්මතය නම් ප්‍රකට එහි අරමුණ ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමයි. මෙය 2012 සිට එම අරමුණින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද හයවන යෝජනාවයි.

යුදගැටුම පැවති සමයේ දැඩි මානව හිමිකම් උල්ලංඝනයන් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල අන්දමින් කඩකිරීම සම්බන්ධයෙන් ඉතා විධිමත් හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් පැවැත්වීම, සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීම, සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම සහ වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව එම යෝජනා සම්මතයේ දැක්වේ. එසේම, බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ රාජ්‍ය වගකීම් ඉටුකරන ලෙස ද ශ්‍රී ලංකාවට එමගින් යෝජනා කෙරේ.

මෙම කාර්යයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විශේෂ ඒකකයක් පිහිටුවනු ඇත.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 47 අතරින් රටවල් 22ක් යෝජනාවට පක්ෂ වූහ. එම රටවල් නම්, ආර්ජන්ටිනා, ආර්මේනියා, ඕස්ට්‍රියා, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, කර්ට් ඩුවා, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියා ජනරජය, යුක්රේනය, බ්‍රිතාන්‍යය හා උරුගුවේය. රටවල් 11ක් යෝජනාවට විරුද්ධ වූහ. ඒවා නම්, බංග්ලාදේශය, බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය හා වෙනිසියුලාවයි.

පහත දැක්වෙන රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටියහ: බහරේන්, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දියා, ඉන්දුනීසියා, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනෙගාල්, සුඩාන් සහ ටෝගෝය.

යහපාලන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2019 ඔක්තෝබර් 15දා පැවසූ අතර, ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම ස්ථාවරය නිල වශයෙන් දැනුම් දෙන ලදී.

2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වූ සැණින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බෑන් කී මූන්ට ආරධනා කළේ ය. එම චාරිකාවෙන් පසු ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බව හා යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.

ඒ වෙනුවෙන් උත්සාහයක් ලෙස 2010දී රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) පත් කරන ලද අතර 2011 වසරේ නිකුත් වූ එම කොමිෂමේ වාර්තාවේ නිර්දේශයක් අනුව, යුද්ධයේ අවසාන සමයේ රජය හා කොටි සංවිධානය විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් කොමිෂමක් පත් කරනු ලැබුවේ ද රාජපක්ෂ රජය ම විසිනි.

යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 7000 – 7500 අතර සංඛ්‍යාවක් මිය ගිය බව එම කොමිෂම විසින් වාර්තා කරන ලදී. යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය, අතුරුදහන් වූවන්ට, මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට වන්දි ගෙවන හානිපූරණ කාර්යාලය ආදිය පරණගම කොමිෂමේ නිර්දේශයි.

මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතීන්ට පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය ම ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ තවමත් හොල්මන් කරන්නේ එයයි.

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාකාරිත්වයන් පමා වෙමින් තිබියදී මෙරට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති කඩවීම් පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් 2011දී ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

පුද්ගලයන් 2,300කගෙන් පමණ සාක්ෂි 4,000ක් පමණ ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේ වාර්තාවේ, ශී‍්‍ර ලංකා ආණ්ඩුවට තහනම් පොකුරු වෙඩිලිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, ආණ්ඩුව විවේචනය කළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, රෝහල් හා තහනම් ස්ථානවලට ෂෙල් වෙඩි එල්ල කිරීම ඇතුළු චෝදනා පහක් එල්ල විය. කොටි සංවිධානයට ද බරපතල මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා රජය මෙම වාර්තාව පිළිගන්නේ නැත. පරණගම කොමිෂම පිහිටුවනු ලැබුවේ ඒ අනුව ය.

2015 ජනවාරි 8 බලයට පත් වූ රජය ඉදිරියට ගියේ, මහින්ද රාජපක්ෂ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ හා පරණගම කොමිෂමේ පදනම් මත ය. 30/1 යෝජනාවලිය එන්නේ ඒ අනුව ය. මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය පස් වසරක් පුරා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන් සමග ගැටුම් විරහිත තත්වයක් පවත්වාගැනීමට ආණ්ඩුව සමත් විය.

එහෙත්, 30/1 යෝජනා සම්මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් ක්‍රියාත්මක කළ නොහැකි බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය විය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගන්නා ලද වැදගත්ම පියවර විය හැක්කේ පසුගිය ජනවාරි 21දා විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන් පත්කරන ලද විනිසුරු නවාස්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද මෙම ත්‍රිපුද්ගල කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලබන්නේ මෙතෙක් පැවති විවිධ කොමිෂන් සභා, කමිටු ආදිය විසින් කර තිබෙන නිර්දේශ හා ඒවා ක්‍රියාත්මක වී තිබෙන ආකාරය පිළිබඳවයි.

අලුතෙන් සම්මත වී තිබෙන 46/1 යෝජනා සම්මතය 30/1 යෝජනා සම්මතය මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යයි ආණ්ඩුවට පැවසිය නොහැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර පිළිබඳ වසරකට පසු, එනම්, 48වන සැසි වාරයේදී වාචිකව වාර්තා කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට මෙම යෝජනා සම්මතයෙන් බලය පවරා තිබේ.

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය.

කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මෙවැනි යෝජනා සම්මතයන් රැසක් දැනටමත් නොතකා හැරදමා තිබේ. ශ්‍රී ලංකාවටත් එසේ කළ හැකිය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියත්, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට ලක්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට බටහිරට අභියෝග කළ හැකිය. එහෙත්, එසේ කරන්නට සිදුවන්නේ අපයන වෙළඳපොළ අහිමි කරගනිමිනි.

මේ අතර, ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට මෙම ජිනීවා ක්‍රියාවලියෙන් වැදගත් කිසිවක් සිදුවන්නේ නැත. ඔවුන් නැවතත් තම ජීවිත ගොඩනගාගැනීම සඳහා ජීවන අරගලයේ ගිලෙමින් ද වියපත් වී ලොවෙන් සමුගනිමින් ද සිටිති. ජිනීවා ඔවුන්ට මහලොකු උදව්වක් වූයේ නැත. ඔවුන් ජිනීවා ගැන උනන්දුවක් දක්වන්නේද නැත. ජිනීවා අවසානයේදී වෘත්තික බුද්ධිමතුන් පිරිසකගේ දේශපාලන නාටකයක් පමණයි. ඒ නාටකය දැන් අවුරුදු 12ක් තිස්සේ දිගහැරෙන මෙගා ටෙලියකි.

මේ පිළිබඳ මීට පෙර අප සිදුකළ සාකච්ඡාවක් නරඹන්න.

අජිත් පැරකුම් ජයසිංහ

http://praja.lk

Related posts