අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?

71-karalla

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි.

අප මෙම කරැණු සාකච්ජා කළ යුත්තේ 1971 සහ 1988-89 මෙන් අනනොඥ සන්නද්ධ අරගලයක වරද වටහා ගැනීමටය. 1971 කැරැල්ලේ පාඩම් ඉගෙන ගත්තේ නම් 1989-90 විනාශය සිදු නොවන්නට ඉඩ තිබුණි.

අප්‍රේලු නැගිටීම පිළිබඳ ප්‍රබන්ධයේ ලොකුම වසං කිරීම නම් අප්‍රේල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණ දීමක් බවයි. ඉන් කියැවෙන්නේ එය ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂ‌ා කළ බලය අල්ලා ගැනීමේ විප්ලවය නොවන බවයි.

  • අප්‍රේල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණ දීමක් යැයි කියන ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු අනෙක් පිරිස් සියල්ලටම කලින් ඔවුන් කියන එම මර්දනය ආරම්භ වූයේ කවරදාකදැයි හො කවර කාලයකදැයි මුලින්ම කිව යුතුය.
  • දෙවනුව ඔවුන් කිව යුත්තේ එම මර්දනයට හේ්තු වූ කරුණූ මොනවාද යන්න පැහැදිළි කළ යුතුය.
  • තෙවනුව මේ කියන අන්දමට සිදුවූයේ හුදෙක් මර්දනයට මුහුණ දීම පිනිස ආයුධ රැස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ කුමන වර්ශයක කුමන මාසයකද යන්න කිව යුතුය.

මා විජේවීර දන්නේ 1966 සිටය. ඔහු මා දන්නා කාලයක සිටම ආයුධ නිශ්පාදන කිරිමට, රටින් ගෙන්වා ගැනීමට සහ එක් රුස්කිරීමට ඔහු උනන්දු විය. ජවාපෙ නායකයින් හතර දෙනාගෙන් ඒක් අයකු වූ ඉන්කම්ටැක්ස්කරැ අපේ ගෙදරට හමුදා බූට්ස් පෙට්ටියක් ගෙනැවිත් තිබ්බේ 1967 අවසන් භාගයේ හෝ 1968 මුල් භාගයේය.

1968 වර්ශයෙහිම එකළ ලයියා සහ සිරා යනුවෙන් හදුන්වන ලද තරුණ සරසිවි සිසුන් දෙදෙනෙකු සමඟ අපේ නිවසට විජේවීර පැමිණයේ හිස් ග්‍රෙනේඩ් බෝමබයක් ද ඇතිවය. එවැනි බෝම්බ නිශ්පාදනය පිනිස මුලික සැළසුමක් සකස් කිරීම එම සාකච්ජාවේ අරමුණ විය. ඔවුහු ඒ් සඳහා කටු සටහනක් කොළයක ඇන්දේය. ග්‍රෙනේඩයෙහි අතුළත ඇති දුන්න කොපමණ ශක්තිමක්දැයි බැලීමට අපේ නිවසට යාබදව තිබූ කරුණාසේන මුදලාලිගේ කඩයෙන් රාත්තල් දෙකේ පඩ්යක් ඉල්ලා ගෙන ආවේ මාය.

ආයුධ මිලදි ගැනීමත් නිශ්පාදනය කිරීමත් අරඹන ලද්දේ ආන්ඩුවේ මර්දනයක් අසළකවත් නොතිබූ කාලක සිටය. යුද හමුදා පාවිච්චි කරන ග්‍රෙනේඩ් නිශ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂනික හැකියාවන් අපට නොවූ බැවින් ඊට සමාන චීනච්චට්ටි කවර/කේස් නිශ්පාදනය කිරීම පිනිස කඩවත අසළ අප සහෝදරයකුගේ ගරාජයක කම්හළක් පිහිටුවන ලද්දේ ඒ් අනුවය. එහි එම බෝම්බ කරන සෑදීම බාරව සිටියේ මහ නඩුවේ සැකකරුවන් වූ විජේපාල සිල්වා සහ ආන්නද පෙරේරාය.

පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන්ගේ එක් අතක කොටසක් කැඩී ගියේ මර්දනයක් ඇති වීමට පෙර කරන ලද අත් බෝම්බ පර්යේෂනයකදීය. එයට පෙර මමත් බටපොල අතුලත් එවැනිම අත්බෝම්බ පරීක්ෂනයක් සඳහා අනුරාධපුරයට ද ගියෙමි. එදින කාල වේලා පටලැවීම නිසා එම පර්යේෂනය සිදුවූයේ නැත.

1971 පෙබරවාරි මාසය පුරා විජේවීර රට පුරා යමින් ජවිපෙ දිස්ත්‍රික්ක කමිටු කැඳවමින් උපදෙස් දුන්නේ අත් බෝමබ දහසක් ඇසිඩ් බල්බ් දහසක් සහ ගිනි බෝම්බ දහසක් රැස් කර ගන්නා ලෙසය. එම සාකච්ජාවලදීම ඔහු කියා සිටියේ ඉඩකඩම් ඇතොත් උගස්කර මුදල් ගෙන එම කටයුතු කරන ලෙසය. විප්ලවයෙන් පසු එම ඉඩම් ආපසු ලබා ගත හැකි බවද ඔහු කීවේය.

විජේවීර අත් අඩංගුවට හසුවූයේ මොනරාගල දිසාවෙහි එම සාකච්ජාව අවසන් කර අම්පාර දිස්ත්‍රිකකයේ සාකච්ජාවට ගිය අවස්ථාවෙහිදීය. මා ආපසු බදුල්ල බලා ඒමට බසයකට නැගුණේ වැල්වායෙන් ඔවුන් බස් රථයට ගොඩ වූ පසුය.

1971 මාර්තු මාසය වන විට ජවිපෙ කරා මර්දනය පැමිණි බව ඇත්තය. එමෙන්ම අප විමසා බැලිය යුත්තේ එකී මර්දනය පැමිණියේ කුමක් නිසාද යන්නය. මර්දනයට ඇත්ත හේතුව නම් අප ඒ වන විට සන්නද්ධ වෙමින් සිටි බව රාජ්‍ය බුද්ධි අංශ වෙත වාර්තා වීම මිස වෙනකක් නොවේ. කෑගල්ලේ නෙළුම්දෙණෙියෙහිද වැළිමඩ මැදවෙළ ද අත් බෝම්බ නිශ්පාදනය කරමින් සිටියදී විශාල පිපිරීම් දෙකක් ඇති විය. රටපුරා ව්‍යාපාරයේ පිරිස් ආයුධ සමඟ අත්අඩංඟුවට ගැනෙමින් පැවතුණි. මේ ආයුධ මර්දනය නිසා රැස්කරගත් ඒවා නොවේ. ව්‍යාපාරය ආයුධ රැස්කළේ පහර දීමට මිස සඟවා තබා ගැනීමට යැයි කිසිවකු විශ්වාස නොකරනු ඇත.

අප්‍රේලි පස්වනදා පහර දීම සිදුවුයේ මර්දනය නිසා බවත් මර්දනය නිසා පහර දීම වරදක් බවටත් මහනුඩුවෙහිදී විජේවීර සහ ඔහුට පක්ෂපාත කණ්ඩායම දැරූ ස්තාවරය විය. එසේ නම් එවැනි තර්ක ඉදිරිපත් කරන පිරිස් එදා බලා පොරොත්තු වුයේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිසංසල හද පෑයු රැයක රහසේ ගොස් පහර දීමටද?

මර්දනය සහ සන්නද්ධ කැරලිකාරත්වය ගමන් කරන්නේ එකටය. එම ක්‍රියාවලීන් දෙක එකිනෙකින් පෝෂණය වෙයි. සහමුලින්ම රහසිගතව සන්නද්ධ කැරැල්ලක් සංවිධානය කළ හැකි යැයි තර්ක කළ හැක්කේ සමාජ යථාර්ථයන් නොදන්නා අයකුට පමණි.

1970වේ මහා මැතිවරණයට පෙර එජාප ආන්ඩුව යටතේ බුද්ධි අංශ විසින් ජවිපෙ පිළිබද එක්රැස් කරතිබූ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ කබඩ් එකක් දමා වසා නොතිබුණේ නම් මර්දනය ඊටත් කලින් එන්නටත් කැරැල්ල සම්පූර්නයෙන්ම වාගේ වැලකි යන්නටත් ඉඩ තිබුණි. එම බුද්ධි අංශ වාර්තා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට සූදානම් වන බවට වාර්තා කර තිබුණි. මෙම ලිපිගොනු පිළිබඳව මහමැතිවරණයෙන් පසු පත්වූ සමගි පෙරමුණූ ආන්ඩුව දැන සිටියේ නැත. එම බුද්ධි අංශ වාර්තා හෙළිදරව් වූයේ කැරලුල නිසා සිදුවූ විනාශයෙන් පසුය. මෙම ලිපිගොනු නිසි පරදි බාර නොදුන්නේ සන්නද්ධ කැරැල්ලක් ඇතිවීමට ඉඩ සළසනු පිනිස යැයි සමගි පෙරමුණූ ආන්ඩුව එජාප ආන්ඩුවට චෝදනා කලේය. මේ පිළිබදව දැන ගැනීමට අවශ්‍ය නම් එකළ පාර්ලිමෙන්තු හැන්සාඩ් කියවා බැලිය හැකිය.

එය එක්තරා ආකාරයකට පාස්කු ඉරිදාා ප්‍රහාර පිලිබඳ ඇතිවී තිබෙන සාකච්ජාවට සමානය. අද වැනි යුගයක නම් ඒ සම්බන්දයෙන් කොමිසමක් පවා පත් කැරෙන්නට ඉඩ තිබුණි.

1971 අප්‍රේල් පස්වනදා සිදුවූයේ ජවිපෙ අපේක්ෂා කළ විප්ලවය වට විජේවීරගේ මේ කතාව විසින් සනාථ කරයි.

ඔහුගේම වචනයෙන් කියන්නේ නම් “පොලිස් මරලතෝනිය විප්ලවයේ කාහළ නාදයයි”. එම වැකිය අඩංඟු පෝස්ටර් රටපුරා ඇලවීමට උපදෙස් දුන්නේ විජේවීරය.

1971 අප්‍රේල් කැරැල්ලට පෙර අවසන් ජවිපෙ රැස්වීම පැවැත් වූයේ පෙබරවාරි 27වන දින කොළඹ හයිඩ්පිටියේදීය. එහිදී ඔහු මෙස් කීවේ දෑක් ඉහළට ඔසවමිනි: විප්ලවය කවදාද කියල හැම දෙනාම අහනවා. කවදාද ඔහේලා මහා පරිමාණයෙන් විප්ලවය මර්දනය කරන්න ඉදිරිපත් වෙන්නේ. කවදාද ඔහේලා තීරණාත්මක අයුරින් ජ.වි.පෙ.ට එරෙහිව ආයුධ ඔසවන්නේ. එදාට විප්ලවය කෙරෙයි.”

ඔහු සිය කතාව අවසන් කළේ “ගජබාව අවුරෝරාවක් වේවා. (කොළඹ කොටුවෙහි වූ) ඇචිලන් බැරැක්කය ප්ත්‍රෝගෑඞ් ගැරිසණය (රැසියානු විප්ලවයට පක්ෂපාත වූ හමුදා කාන්ඩයකි) ක් වේවා, කම්කරුවන්ගේ, ගොවින්ගේ, සෙබළුන්ගේ විප්ලවය දිනේවා” යනුවෙන් සිංහල හා රුසියන් බසින් කියමිනි.

විජේවීරගේ මෙම උද්යෝගිමක් මවිල් කෙලින් කරවන කතාව ඉතා පැහැදිළිව කියන්නේ මර්දනය දහ විප්ලවට එකම කාසියක දෙපැත්ත බවයි. එම රැස්වීමට පැමිණ ජවිපෙ නායක පිරිස් පහර දීමක් අතළග වියයුතු යැයි නොසිතා ඉන්නට ඇත්ද?

ජවිපෙ පංති පහේ අවසාන පංතිය වූයේ “ගතයුතු මඟ කුමක්ද” යන්නයි. ලෝකයේ අනෙක් රටවල විප්ලව පිළිබද කෙරුණු මතුපිට විග්‍රහයකින් පසු ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ රටපුරා විසිරුණු එක්රැයේ අරගලයක් මගින් බලය අල්ලා ගැනීම බව එම පංතියේ නිගමනය විය.

එම පංතියෙහි කිසිම තැන පසුබැසීම ගැන හෝ සැගවී සිටීමට ස්ථාන පිිළිවෙළ කිරීම ගැන හෝ ඉඟියක්වත් නොවීය. අනෙක් කාරණය නම් දීර්ඝ කාලීන ගරිල්ලා අරගලයක නිරතවීම ජවිපෙ විසින් න්‍යායිකවම මෙන්ම උපහාසයෙන් ප්‍රතික්ෂෙප කළ බවයි.

උදාහරණයක් වශයෙන් පනස් වසරකට පෙර එම රාත්‍රියෙහිදී කොළඹ කඩවත පොලීසියට පහර දුන් පිරිස්වලට පසුබැස යා හැකි වූයේ කොහිද? ව්‍යාපාරයේ මුල්කාලීන නමුත් නොසළකා හරින ලද නායකයකු වු මිල්ටන් සහෝදරයා මියගියේ එම ප්‍රහාරයේදීය. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක අත් අඩංඟුවට ගැනීමට ගිය පියසිරි ගුනරත්න ඇතුලු සහෝදරවරුන්ට පසු බැසිය හැකි වූයේ කොතැනකටද?

පසුබැසීම ගැන සැලැස්මක් 1971 ජවිපෙට හෝ 1989 ජවිපෙට හෝ තිබුණේ නැත.

බදුල්ල දිස්ත්‍රක්කයෙහි ප්‍රහාර අසාර්ථක වීමෙන් පසු පනහක පමණ අප කණ්ඩායමක් නකල්ස් කදුකරය වෙත යෑමේ අරමුණින් වලපනේ කැළයට පසුබැස ගියමුත් කිසිදු සැළැස්මක් නොවූ නිසා එම ගමන සම්පූර්නයෙන්ම අසාර්ථක විය. සිංහරාජයට පසු බැසීමට ගිය බටපොළ ප්‍රදේශය අල්ලාගෙන සිටි පිරිස් ද සම්පූර්ණයෙන් අසාර්ථක විය. වනගතව කළක් දිවි රැකගත් කුඩා කණ්ඩායම් දෙකක් විල්පත්තු වනයෙහි සිටි නමුත් කුමක් කළ යුතුදැයි ඔවුන්ට කිසිදු සැළැස්මක් වූයේ නැත. ඔවුන් කළේ අත්අඩංඟුවට පත්වන තුරු දිවි රැක ගැනීම පමණි.

මර්දනය හමුවෙහි පසුබැසීමට සැළැස්මක් තිබුණේ යන්නද අමූලික බොරුවකි. එවැනි සැළැස්මක් තිබුණේ නම් එවැනි සැළැස්මක් තිබූ බව අද කියන අයට එළෙස පසුබැස ගොස් ජවිපෙ යළි ගොඩනැගිය නොහැකි වුයේ ඇයි?

අවශ්‍ය වුවහොත් සැඟව සිටීමට කදුකර ගොවිපළවල්ද ඇදීමට සිවුරුද එක්කරගන්නා ලෙස වරක් දෙකක් කතා කරන ලද නමුත් එවැනි අංශයක් ව්‍යාපාරයෙහි තිබුණේ නැත.

අප ඉතිහාසය එය සිදුවූ හැටියෙන්ම ලිවිය යුත්තේ එමගින් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගැනීමටය. 1971 ජවිපෙ ලද පරාජය 71 මහ නඩුවෙහිදී විජේවීර ඇතුලු පිරිස් බැර කළේ ලොකු අතුළ, සනත්, කරුණාරත්න තිදෙනා ඇතුළු තවත් අයටය. විජේවීර සමඟ ව්‍යාපාරයේ සිටි ප්‍රධාන නායකයින් හතර දෙනා වුයේ ඔවුන්ය.

මහ නඩුවෙහිදී ලොකු අතුල සාක්ෂි දුන්නේය. ඔහුගෙන් විජේවීර දීර්ඝ කාලයක් හරස් ප්‍රශ්ණ ඇසුවේය. සිය අවසාන ප්‍රශ්ණය වශයෙන් විජේවීර ලොකු අතුලට මෙවැනි යෝජනාත්මක ප්‍රශ්ණයක් යොමු කළේය.

මම ඔබට යෝජනා කරනවා 1971 අප්‍රේල් පස්වනදා සිදුවූයේ විප්ලවයක් නොවේ ප්‍රතිවිප්ලවයක්ය කියාලා”

කටකාර ලොකු අතුල ගත් කටටම මෙසේ කීවේය.

මෙව්වර වෙලා බොරු කියලා කියලා අන්තිමේද එක ඇත්තක් කියපු එක ගැන මං සතුටු වෙනවා.”

අද 1971 කැරැල්ල සමරන ජවිපෙ සහ එහි හිතවාදීන්ගේ නායකයාට අනුව එදා සිදුවූයේ ප්‍රති විප්ලවයකි! එය කොතරම් සාහසික අපරාධයක් ද යන්න අවබෝධ වන්නේ එමගින් කැරැල්ල වෙනුවෙන් දිවිපිදූ සහෝදර සහෝදරියන්ට කැරෙන අවමානය ගැන සිතන විටය.

එමෙන්ම පසුගිය පනස් වසර පුරාම ජනතා විමුක්ති පෙරමූණ කිසිදු විටක 1971 අරගලය පිළිබද අවංක විශ්ලේෂනයක් කර ගෙන නැත. එක්රැයේ අරලගයේ අසාර්ථකත්වය පිළිබඳ කිසිදු නයායික විග්‍රහයක් අද දක්වාම එයට නැත. එමෙන්ම රහසිගත ප්‍රහාරයන් මගින් බලය අල්ලා ගැනීමෙහි අසාර්ථකත්වයද ජවිපෙ විග්‍රහ කර ගත්තේ නැත.

ඔවුන් එදත් අදත් කරන්නේ “ද්‍රෝහීන්” පිට වරද පැටවීමය.

1989-90 සමයෙහි මෙරට සිදුවූ දෙවන ජවිපෙ කැරැල්ල අති බිහිසුණු ඒ සා විනාශකාරී මාවතක් කරා ගමන් ගත්තේ 1971 නිශේධාත්මක අත්දැකීම් ග්‍රහණය කර නොගැනීම නිසාය. 1989-90 ජවිපෙ කැරැල්ල දෙමළ විරෝධයෙන් පණපෙවී රහසිගත සන්නද්ධ ප්‍රහාරයන් මගින් භීෂණ දේශපාලනයක් මුදා හැරියේය. එදා ජනතාව පෙළපාලිවලට ගෙන ආවේ සෑම නිවසකින්ම දොදෙනෙකු ආ යුතු බවට බෙදා හරින ලද වෙඩ් බෙහෙත් ඟද සහ ලේ වැකුණූ තුන්ඩු මගිනි.

1971 අප්‍රේල් කැරැල්ල ජවිපෙ මත රජය විසින් පටවන ලද මර්දනයේ ප්‍රතිඵලයක් යැයි කියා එහි ඇත්ත වසං කිරීමත් 1989-90 සමයේ ජවිපෙ විසින් මුදා හරින ලද බිහිසුණූ භීෂනය සහමුලින්ම රාජ්‍ය ත්‍රස්තවාදයට පැවරීමත් මගින් යළිත් වාතාවක් සිදුවන්නේ ඒ ලේ වැකි මඟම ගැනීමට උන්නතිකාමී තරුණ පිරිස් පෙළඹවීම නොවේදැයි මෙම බොරු සමාජ ගත කරන කවරකු වුවත් දෙවරක් සිතා බැලීම වටී.

සුනන්ද දේශප්‍රිය

Related posts