බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි

පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්‍රදේශයේ දී  ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්‍රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පරාක්‍රම සමුද්‍රයේ සිට කුඹුරු වෙත දියවර ගෙන යන ප්‍රධාන ඇළට මෙසේ බස් රථය පෙරලී ඇත.

කෙසේ වෙතත් ඇළ වසා දමා තිබුණු හෙයින් ජීවිත ගණනාවක් අනූ නමයෙන් බේරුණු බවත් මේ දිනවල පවතින වැසි සහිත කාල ගුණය නිසා රිය ධාවනයේ යෙදෙන්නන් සැලකිලිමත් විය යුතු බව ද පොලිසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලැබූ සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයෛ.පින්තූරවල දැක්වෙන්නේ ඇළට පෙරලුන බස් රථයයි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts