පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක

දින කිහිපයකට පෙර දී කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක ඔතා තංගල්ල වැලිආර ප්‍රදේහයේ ලඳු කැලෑවක දමා තිබියදී තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ඊයේ  (11)  දහවල් මෙම මළ සිරුරු ප්‍රදේශවාසියෙකු දැක ඇති බවත් ඔහු පොලීසිය  දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ බවත් තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

තංගල්ල පොලිස් බල ප්‍රදේශයේ වැලිආර දමණිය ගහවැල්ල පාරේ දමණිය ගහවත්ත නම් ඉඩමේ ළඳු කැලෑවක් තුළ මෙම මළ සිරුර තිබුනු බවද පොලීසිය කියයි.මළ සිරුර දමා ගොස් තිබූ ඉඩමේ හිමි කරුගේ ඥාතියෙකු ඉඩමට පැමිණි අවස්ථාවේ දුඟද හමමින් තිබුණු මළ සිරුර දැක තිබුණු බවද පොලීසිය කියයි.තියුණු ආයුධ වලින් පහර දී ඇඳ ඇතිරිල්ලක හා පොලීතීන් උරයක ඔතා ඉන් අනතුරුව සිරුරෙන් කොටසක් වැසෙන සේ පොහොර උරයකද ඔතා මෙම මළ සිරුර තිබුණු බව පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වූවෙකු බවත් ඔහු පිළිබදව කිසිදු තොරතුරක් පෙරේදා සවස් වන තුරුම පොලීසියට සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලීසිය කියයි.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් එල්.ටී.වරුස විතාන මහතා විසින් මළ සිරුර තිබුණු ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා සවස සිදු කළ අතර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා විසින් මළ සිරුර තැබූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදු කරනු ලැබීය.

මහේස්ත්‍රාත් වරයා ගේ දැනුම්දීම මත ප්‍රදේශයේ කිහිප දෙනෙකු පැමිණ මිය ගිය පුද්ගලයා ගේ අන්‍යනතාවය පිළිබදව සොයා බැලීමක් කළද ඔවුනට මිය ගිය පුද්ගලයා හදුනා ගැනීමට නොහැකි වූහ.

තංගල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිී සනත් අමරසිංහ තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයන්ක කරවිට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශනාගාරයේ නිළධාරීහු ,තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කරනු ලැබීය.

තංගල්ල – චන්ද්‍රසේන ගමගේ

Related posts