ත්‍රෛභාෂා පාසල අපචාර හා දුරාචාර සිදුවන තිත්පොලක්

පසුගිය රජය සමයේ පොලොන්නරුව කදුරුවෙල සත්ත්ව ගොවිපලෙන් වෙන් කළ භූමියක ඉදි කෙරෙමින් තිබූ ත්‍රෛභාෂා පාසල මේ වන විට කැලෑවක් බවට පත් වෙමින් විවිධ අපචාර හා දුරාචාර සිදුවන තිත්පොලක් බවට පත් වෙමින් පවතින බව නාගරිකයෝ පවසති.

ඉකුත් රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ඇරඹි මෙම ත්‍රෛභාෂා පාසල ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු අනුග්‍රහය මත ගොඩනැංවීම සිදු කෙරෙමින් පැවතින.

එසේ වුවත් එම ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් පැහැර හැර අතරමග දී ඉදිකිරීම් නවතා දමා ඉවත්ව ගොස් ඇති අතර රුපියල් මිලියන ගණනක් වැයකොට බාගෙට ඉදි කර ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් අවසන් කරන ලෙස ඉල්ලීම් කළ ද එහි ඉදි කිරීම් අට්බ හැර වසරකටත් වැඩි කාලයක් ගතවන බව ද ප්‍රදේශවාසිහු පවසති.

මේ හේතුවෙන් එම ස්ථානයේ මත් පැන් බොන්නන්ගේ,විවිධ දුරාචාර සිදු කරන්නන් ගේ තිත්පොලක් බවට පත් ව ඇති බවත් නගරයේ මෙවැනි වල් වැදුණු ඉතාම වටිනා භූමියක් නිකරුනේ විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව ද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මෙ පිළිබඳව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

ඔය ත්‍රෛයි භාෂා පාසලේ ඉදිකිරීම් කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා නෙමෙයි සිදු වුණේ.ඒක අධ්‍යාපන අමාත්‍යංශයටයි අයිති.අපි මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශයට කිහිප වරක් දැනුම් දීලා තියේනවා.

නමුත් එහි ඉදි කිරීම් සිද්ධ වෙන්නේ නෑ.මෙහි දුරාචාර හා විවිධ අපචාරී ක්‍රීයා සිදු වෙනවා නම් මම වහාම පොලිසියට උපදෙස් දෙන්නම් මේ ගැන සොයා බලන්න කියලා.

ඒ වගේම ඒවා පලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts