ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා.

අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම්  කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්‍රශ්නය නිසා මේ සියලු දෙනා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා.

අප මේ පවුල්වල විස්තර සොයා බැලුවම බොහෝ පවුල්වල දරුවන් හය දෙනා සිටිනවා, ඒ වගේම සමහර පවුල් වල ස්වාමිපුරුෂයා නැහැ කාන්තාවන් දරුවන් සමඟ තනිව දිවි ගෙවන්නේ, එම නිසා මෙම වසංගත තත්වයන් සමග මේ පවුල් විශාල ආහාරපාන හිඟයකට ද මුහුණ දීලා සිටිනවා.

ඒ විතරක් නෙමේ වසංගත තත්වයන් සමග පාසල් වසා දැමීමෙන් සියලුම දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රමය වෙත යොමු වී තිබෙනවා නමුත් මෙම පවුල්වල දරුවන්ට එසේ ඔන්ලයින් අධ්‍යාපනයක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඔවුන්ගේ අධ්‍යාපනය ද කඩා වැටී තිබෙනවා.

අප රටේ කිසිම කෙනෙකුගේ අවධානය ග්‍රාමීය කෘෂිකාර්මික ගැහැනියට යොමු වන්නේ නෑ. වාණිජ බෝග වගා කරන මහා ලොකු කර්මාන්ත කරන අය නොවේ, ග්‍රාමීය කෘෂිකාර්මික ගැහැණියක් ඔවුන් ඉතා පිරිසිදුවට කුඩාවට කාබනික ක්‍රමයට එළවළු පළතුරු වගා කරලා වෙළඳපොළට යවන අය, ඉතින් මේ තත්ත්වය ඔස්සේ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා.

එපමණක් නෙවෙයි ඔවුන්ගේ වගාවන් වල අස්වැන්න මේ වෙද්දි වෙළඳපොළට යවා ගන්න බැරුව ප්‍රවාහන පහසුකම් නැතිව ඒවා ගබඩා කරලා තියෙනවා. මේවා නිරපරාදෙ කුණු වෙලා යනවා, මේ රටේ පවතින තත්ත්වයත් සමග අඩුම තරමේ අසල්වැසියන් සමග වත් ඔවුන්ගේ අස්වැන්න හුවමාරු කරගන්න බැරිවෙලා තිබෙනවා. ඉතින් විශාල එළවළු පලතුරු අතිරික්තයක් නාස්ති වෙනවා.

ජීවන වියදම

සතොස බඩු වල මිල ගනන් ගැන කතා කිරීමේදී මාධ්‍ය ඉදිරියේ පවසන ආකාරයට කිසිදු ද්‍රව්‍යයක මිල අඩු වීමක් නැහැ මේවා සියල්ල මාධ්‍ය සංදර්ශන පමණයි ප්‍රායෝගික ලෙස ගත්තහම සතොස ඇතුලේ තියෙන බඩු වල මිල අහස උසට තිබෙන්නේ. මේවා නාගරික වශයෙන් බැලූ කල තේරුම් යන්නේ නෑ.

සහල්වලට පොල්වලට පාලන මිලක් දැම්මට මොකද්ද වෙලා තියෙන්නේ? සහල් මිල එන්න එන්නම දරන්න බැරි මට්ටමට ඉහළ යමින් තිබෙනවා. මේ සියලු දේවල් මුලින්ම දැනෙන්නේ ගෙදර ගැහැණියට. ගෙදරට බඩු ගේන්නේ ඇය. ආහාර පාන සෑදීමේ ඉදලා ගෘහ පාලනය කරන්නේ ඇයි. ඉතිං මේ වර්තමාන තත්ත්වය එක්ක ඇය විශාල මානසික ගැටලුවක සහ දුෂ්කරතාවයක ඉන්නවා.

කොවිඩ් අර්බුදය සහ අස්වනු අලවිය

පහුගිය කාලේ අපි අපේ ගොවීන්ගෙන් එකතුකරපු රටකජු අස්වැන්න අපි සෑහෙන්න කාලයක් ගබඩා කරගෙන හිටියා. ඇත්තටම රටකජු ඇට දුබුරුපාටට හැරුණා.  රජයට නිසි වැඩපිළිවෙළක් තිබුනනං මේ අස්වනු විනාශ වෙලා යන්නේ නැහැ.

ඒ වගේම පසුගිය කාලයේ වට්ටක්කා කොමඩු වගේ දේවල් මිලදී ගත්තේ රජයේ නෙවෙයි විවිධ කර්මාන්ත කරන ව්‍යාපාරිකයෝ, රජයේ වැඩපිළිවෙලක් තුළින් මේවා මිලදී ගත්තේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ට පක්ෂපාතී වාණිජ අංශයෙන් කර්මාන්ත කරන අයගේ නිෂ්පාදන මිලදී ගන්න එක. මෙන්න මේ දේවල් නිසා විශාල ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තිබෙනවා.

මේ ග්‍රාමීය පවුල්වල ජනතාවගේ  දරුවන් කෑම ඉල්ලන්න යන්නේ අම්මා ළඟට, අම්මට ආහාර ගෙනල්ලා දෙන්නේ තාත්තා, ඉතින් අම්මා තාත්ත ළඟට ගිහිල්ලා ආහාර ද්‍රව්‍ය ගැන කතා කිරීමේ දී තාත්තට මේවා ගෙනල්ලා දෙන්න මුදල් නෑ.

ඊට පස්සේ මේ තුළින් පවුල් ආරවුල් ඇති වෙනවා. ගෘහස්ථ හිංසනය වැඩි වෙනවා. ඒ වගේම මන්දපෝෂණ තත්ත්වයන් පවා ඇති වෙනවා. සමහර වෙලාවට දෙමාපියන්ගේ මේ ආරවුල් නිසා දරුවන්ට බොහෝ වෙලාවට පියාව එපා වෙනවා.

කොළඹ සමාජයට මේවා බරපතළ විදිහට නොපෙනෙන්න පුලුවන් ඒත් වාටියේ ගොවි පවුල්වල වර්තමානය ජීවිතය ඒක. ඔවුන් විශාල ප්‍රශ්න රැසක් එක්ක තමයි හැමදාම ජීවත් වුණේ. කොවිඩ් ආවාට පස්සේ ඔවුන් කබලෙන් ළිපටම වැටුණා.

covid මර්දනය

වර්තමාන තත්ත්වය දෙස බැලුවොත් තව දින කිහිපයකින් ලංකාවේ ජනගහනයෙන්  බාගෙට බාගයක් ජීවිතක්ෂයට පත්වෙයි. එහෙම මැරෙන්නෙත් තුන්වැනි පන්තියේ මිනිස්සු, එනම් ධීවරයෝ, එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු, කම්කරුවෝ  ග්‍රාමීය ගොවියෝ, ඒ වගේම ආබාධිත පුද්ගලයන්.

මොකද ඔවුන් තමයි මේ ආර්ථික අර්බුදයට වගේම විවිධ අර්බුද වලට මේ අවස්ථාවේ මුහුණ දීලා සිටින්නේ.විශේෂයෙන්ම ඔවුන්ට ආහාරපාන සපයා ගත නොහැකිව පාර ඇදගෙන වැටී වැටී ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්.

ඒ තරම් මේ අවස්ථාවේදී තුන්වැනි පංතියේ මිනිසුන් අසරණ භාවයකට පත් වෙලා තිබෙනවා. රජයේ සේවකයෝ ව්‍යාපාරිකයෝ දේශපාලනඥයන්ට මෙම වසංගතය තදින් බලපාන්නේ නැහැ.

ඒ නිසාම ඔවුන්ට මේ කොවිඩ් රැල්ල එක්ක එන ආර්ථික වසංගතය ගැන ඇගට දැනෙන්නේ නෑ. මේ ආර්ථික අර්බූදය මුලින්ම දැනෙන්නේ වාටියේ ජීවත් වෙන අපිට.

කේ. පී සෝමලතා

සභාපති – ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය

උපුටා ගැනීම – https://www.aithiya.lk/

Related posts