සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා මගින් මහ පරිමාන වංචාවක් සිදුවන බවට පලුගස්වැව මඩවල ග්‍රාම නිලධාරී කොටසේ පලුගස්වැව මීගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් ඇතුළු නිලධාරින් චෝදනා කරති.

රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර නාම ලේඛණය රජයේ නිලධාරියා විසින් වෙනස්කර වංචාව සිදුකරනා බව ගොවින් පවසති.සහනාධාර පොහොර ලබා දීමේදී ඇතැම් පිරිසකට පමණක් පොහොර සඳහා ළදු පතක් නිකුත් කළත් බහුතරයක් ගොවීන් සඳහා ළදු පතක් පවා ලබා නොදෙන බව ඔවුන් පවසති.

මහ කන්නයේ අවස්ථා කිහිපයකදී පොහොර ලබාදීමේදි එක් ගොවියකුට කුඹුරු අක්කර තුනක් සඳහා පොහොර නිකුත් වුවත් ඉන් අක්කර දෙකකට සෑහෙන්න පරිදි පොහොර ලබාදී ඉතිරි අක්කරයක් වෙනුවෙන් ගොවින්ට ලැබිය යුතු පොහොර ප්‍රමාණය නිලධාරීන් එකමුතුවෙන් වංචාකරනා බව ගොවින් පැවසූහ.

වසර ගණනාවක සිට සිදුවන බව කියන වංචාව සම්බන්ධයෙන් ගොවීන් ගොවි සංවිධාන මගින් නිලධාරියාගේ ක්‍රියාව සම්බන්ධයෙන්  පලුගස්වැව ගොවිජන මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරිවරයා වෙත පැමිණිලි ලබා දුන්නත් මේ දක්වා නිසි පරීක්ෂණයක් සිදුකොට ඊට අවශ්‍ය පියවර ගෙන නොමැති බව ගොවින් පැවසූහ.

අදාළ නිලධාරියා විසින් මීගස්වැව මහවැව නාමල්පුර මහවැව යටතේ කුඹුරු අක්කර දෙදහසක් පමණ අස්වද්දන ගොවීන් පන්සියයකට ආසන්න පිරිසකට පසුගිය කන්නයේ  වර්ෂාව නොලැබීම සිය වාසියට හරවා ගනිමින් කඩින් කඩ පොහොර ලබාදී එක් පුද්ගලයකු ගේ නම දෙවතාවකට වඩා යොදා රජයේ සහනාධාර පොහොර ලබාගෙන ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා විසින් කූඨ අන්දමින් ලබාදි තිබුණු පොහොර මිටි රැසක් නිවසක සගවා තිබියදි ගොවි සංවිධාන නිලධාරින් විසින් සොයා ගෙන තිබුණි.පලුගස්වැව ගොවිජන මධ්‍යස්ථානයේ පවතින ගොවි බැංකුව හරහා එක් ගොවියෙක් වෙනුවෙන් ලබාදෙන ණය අයදුම්පත් වෙනස් කොට  ගොවීන්ගේ නමින් නිලධාරියා මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව මීගස්වැව ගොවි සංවිධානයේ සභාපති කේ.පොඩි මහත්තයා පවසයි.

මීගස්වැව ගොවි සංවිධානයේ ගෙවිලියක් රුපියල් 10,000 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන අයදුම් පත පුරවා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා වෙත ලබා දී ඇති බවත් අයදුම්පත ණය මුදල දහදාහක් යන ස්ථානයේ 50000 ලෙස  වෙනස් කොට රුපියල් 50,000ක ණය මුදලක් නිළධාරියා ලබාගෙන මුදල් වංචාකර තිබෙනා බවද ඔහු පැවසුවේය.

ණය ගැනුම්කරු ගෙවිලිය ණය ගෙවීම සඳහා ගොවිජන මධ්‍යස්ථානයේ ඇති ගොවි ණය බැංකුව වෙත ගිය අවස්ථාවේ වංචාව අනාවරණය වූ බව ඒ මහතා පවසයි.රටට බත සපයන්ට මහ පොලව සමග ඔට්ටු වන ගොවීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් වංචා සහගත නිලධාරියා සිදුකරන සිදුකළ සියළුම වංචාවන්ට කඩිනමින් නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බවයි.

මේ සම්බන්ධයෙන් පළුගස්වැව ගොවිජන සේවා කාර්යාලයේ දිස්ත්‍රික් නිලධාරි ආර්.ආර් සමන් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමේදි ඔහු මෙසේ පැවසුවේය.නෑ එහෙම වංචාවක් සිද්ධ වෙලා නෑ.

ඔය එක එක ගොවින් කියන විදියට ලිඛිත පැමිණිලි වලට අපිට බෑ රාජ්‍ය නිලධාරින්ට විරුද්ධව පරික්ෂණ පවත්වන්න දඩුවම් කරන්න.ඔයා කවුද කියලා මම දන්නෑ.අවශ්‍ය නම් මගේ කාර්යාලයට ඇවිල්ලා තොරතුරු ගන්න පුළුවන් යනුවෙන් පවසමින් ඔහු දුරකථනය විසන්ධි කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts