පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ වී බොහෝ රටවල පුවත්පත් මණ්ඩල හැදී තිබුණා.

ලංකාවේ පැවතුණු තත්වය තමයි, පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වාමාංශයට පක්ෂපාතී නොවන බවට අදහසක් පැවතීම. 1960 දශකයේ පටන්ම පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වය දුන් ආණ්ඩු මුලපුරා තිබුණා. එය මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවරක් බව තමයි ප්‍රකාශ වුණේ.

මෙම පනත අනුව, පුවත්පත්වල පළවන යම් කරුණක් නිසා තමන් අසාධාරණයට ලක්වූ බව සිතන පුද්ගලයන්ට පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළ හැකියි. මණ්ඩලයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ඒ අනුව පිහිටුවන ලද 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි විභාගයට අමතරව, පුහුණුව, පර්යේෂණ, ආචාරධර්ම සැකසීම ආදිය කළ හැකියි.

එහෙත්, එහි ගැටලු තිබෙනවා. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් කවුරුද යන්න එහිදී ප්‍රශ්නයක්. එහි සාමාජිකයන් හත්දෙනා අතරට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලබලයෙන් පත්වෙනවා. සෙසු හයදෙනා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්.

ඒ අතර එක් අයෙකු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයෙක්, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන අයෙක් එහෙම ඉන්නවා. එම සංගම්වලට නම් තුනක් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එක් අයෙකු නම් කරනවා.

ඒ අනුව, මේ සියලු දෙනාම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත් නියෝජිතයන්. මෙය තනිකරම ආණ්ඩුවේ මණ්ඩලයක්. මෙම පිරිස අතරින් එක් අයෙකු සභාපති ලෙස පත්කරන්නේත් ජනාධිපතිමයි.

ලොව සෙසු පුවත්පත් මණ්ඩල මෙහෙම නැහැ. උදාහරණයක් ලෙස ඉන්දියාව ගත්තොත්, සාමාජිකයන් අතරින් වැඩි පිරිසක් මාධ්‍ය නියෝජිතයන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම, සාහිත්‍ය ඇකඩමිය වැනි ආයතනවල නියෝජනයන් පවා එහි තිබෙනවා. පත්කිරීම කරන්නේ මන්ත්‍රී මණ්ඩලවල කතානායකවරුන් ආදියෙන් සමන්විත මණ්ඩලයක් විසිනුයි.

වෙනත් බොහෝ රටවලත් තත්වය එහෙමයි. ඒ අනුව ඇත්තෙන්ම සිදුවන්නේ ස්වයං නියාමනයක්. බොහෝ රටවල මෙම තනතුරට පත්කරන්නේ අධිකරණයේ විනිසුරුවරයකු ලෙස අත්දැකීම් ඇති අයෙක්. එහෙත්, ශ්‍රී ලංකාවේ තත්වය එහෙම නෙමෙයි.

1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතෙහි නවවන වගන්තිය අනුව, විකෘති කරන ලද, සදාචාර විරෝධී, ආචාරධර්ම විරෝධී ආදී වන අන්තර්ගතයක්න් සම්බන්ධයෙන් පුරවැසියකුට පැමිණිලි කළ හැකියි. නැතිනම් මණ්ඩලයම පැමිණිලි කර විභාග ආරම්භ කරනවා.

වරක් අයිලන්ඩ් පුවත්පතේ පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් මණ්ඩලයේ සාමාජිකයකුම පැමිණිලි කර එය විභාග කර දඬුවම් පැමිණවීමක් සිදුකළා.

මෙමගින් දෙන ලද තීන්දුවක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කළ නොහැකි බවට පන‍තේ 9 (5) වගන්තියේ දැක්වෙනවා. අභියාචනා කරන්නට තැනක් පනතේ පැහැදිලිව දැක්වෙන්නේ නැහැ.

මෙයට දිසා අධිකරණයක බලතල තිබෙනවා. 12 වගන්තිය අනුව, මණ්ඩලයේ බලාධිකාරයට යටත් නොවන පුද්ගලයකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරිය හැකියි.

පුවත්පතේ අයිතිකරු, ප්‍රකාශක, මුද්‍රණකරු, සංස්කාරක, පුවත්පත් කලාවේදී යන ඕනෑ කෙනෙකුට වැරදි සම්බන්ධයෙන් වගකියන්නට සිදුවෙනවා.

15(1) වගන්තිය අනුව ආගම් විවේචනය, පොදු සුචරිතයට එරෙහි දැන්වීම්, අසභ්‍ය යයි කියන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් රු. 5,000කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට නොවැඩි සිර දඬුවමක් පණවන්නට පුවත්පත් මණ්ඩලයට පුළුවන්. හැබැයි මෙය භාවිතා වෙලා නැහැ. බොහෝ විට කෙරුණේ සමථයට පත්කරගැනීමයි.

16 වගන්තිය අනුව, කැබිනට් රැස්වීම්, නිල රහස්, මූල්‍ය කාරණා ආදී කලාප සම්බන්ධයෙන් තහනම් කිරීම් සිදුකරන්නටත් පුළුවන්.

විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් මේ වන විට මනා නියාමනයක් නැහැ. පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේදී විද්‍යුත් හා සමාජ මාධ්‍ය ආදියට ද බලපාන අයුරින් එහි බලතල පුළුල් කිරීමට අදහස් කරන බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, මෙවැනි රජය විසින් පත්කරනු ලබන මණ්ඩලයකින් එසේ නියාමනය කිරීම ගැටලු සහගතයි.

සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ජර්මනිය, සිංගප්පූරුව වගේ රටවල් ව්‍යාජ පුවත් සම්බන්ධ නීති සම්පාදනය කර තිබෙනවා. එම පළකිරීම සිදුකළ පුද්ගලයාට එරෙහිව ඍජුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට බැරිවිට ජර්මනිය වැනි රටවල් කරන්නේ අදාළ අන්තර්ගතය ඉවත් කරන්නැයි සමාජ මාධ්‍ය සමාගමට නියෝග කිරීමයි. ඒත්, ඉවත් කිරීමට ගතවන කාලය ආදිය හේතුවෙන් හානිය සිදු වී හමාරයි. ඒ නිසා මෙම නියාමනයත් අසම්පූර්ණයි.

පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතුයි. එය අදට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්වාධීන මණ්ඩලයක් පත්විය යුතුයි. සිදුවිය යුත්තේ ස්වයං නියාමනයක්.

ස්වයං නියාමනය බලගැන්විය යුතුයි. පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව කර්තෘ සංසදය විසින් නිර්මාණය කරගන්නා ලද එවැනි ව්‍යූහයක්. ඒත්, පුවත්පත් එහි නියෝග පිළිනොපැදීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. නියෝගවලට අනුව අදාළ පියවර ගත්තේ නැතිනම් එය ක්‍රියාත්මක කරවීම සඳහා බලතල නියාමන ආයතනයට තිබිය යුතුයි.

නීතීඥ විරංජන හේරත් (අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සඳහා කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)

www.praja.lk

Related posts