ඉපැරණි සෙල්ලිපියක් යොදාගෙන මිරිස් අඹරයි

ancient inscription

විජිතපුර පූගොල්ලාගම අලහප්පෙරුමාගම අමුණුවැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයක මිරිස් ඇඹරීම සදහා යොදාගෙන තිබියදි අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විසින් සොයාගත් ඉපැරණි සෙල්ලිපියක් බවට සැකකරන ගල්පුවරුව සම්බන්ධයෙන් විශේෂ පරික්ෂනයක් ඇරඹු බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

විජිතපුර බලකොටුවේ ඉපැරණි ගල් වැටියක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර් තුමේන්තුවේ පළාත් කාර්යාලයේ ස්ථානභාර නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා ඉපලෝගම පොලිසියට කළ පැමිණිල්කට අනුව පරික්ෂන ඇරඹා තිබුණි.

අනුරාධපුර පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය  492 ග්‍රාමනිලධාරි තුලානේ අමුණුවැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තිබියදි සෙල්ලිපියකට සමාන ගල් පුවරුව සොයාගෙන තිබුණි.

එම ගල්පුවරුවේ මිරිස් ඇඹරිම නිසා ඉපැරණි අක්ෂර මැකිගොස් ඇති බවට පොලිසිය සැකකරනා අතර ගල්පුවරුව පුරා කුඩා වලවල් කොටා ඇති අයුරක් පොලිසියට නිරික්ෂනය වී තිබුණි.අදාල ගල්පුවරුව තිබු නිවසේ හිමිකරුවන පුද්ගලයා පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය මගින් (12දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ බිරිද කියා සිටින්නේ සිය සැමියාගේ පියා විසින් මීට වසර 40කට පමණ ඉහතදි තමන් විවාහවි නිවසට පැමිණි අවස්ථාවේ අදාල ගල මිරිස් ගලක් වශයෙන් තෑගි කළ බවයි.එහි කිසිදු අක්ෂරයක් නොතිබු බවත් එය පුරාවිද්‍යා ස්මාරකයක් බව නොදන්නා බවත් ඇය පැවසුවාය.

අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ මහතාගේ අධීක්ෂනය යටතේ මෙම ගල්පුවරුව ඉපැරණි සෙල්ලිපියක්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අද(14දා) විශේෂ පරික්ෂනයක් ආරම්භ කිරීමට නියමිතය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts