කුඩු බොන්න සල්ලි නැති නිසා කොළඹ හොරකමේ ඇවිත් කොටුවෙයි

සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මහරගම නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා  පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සොයා ගැනීමෙන් අනතුරුව මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ විමර්ශනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළඳසැල් හැත්තෑපහකට අධික සංඛයාවක් රාත්‍රී කාලයේ දී කඩා ලක්ෂ හැටකට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇති බවට අනාවරණයවූ පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා රැකියාව වශයෙන් සැණකෙළිවල  මාරක ළිඳේ බයිසිකල් පැදීමට දක්ෂතාවක් ඇති පුද්ගලයකු බවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සැනකෙලි පවත්වන්නේ නැති වාතාවරණය මත මෙම පුද්ගලයාට හෙරොයින් පානයට  මුදල් නොමැතිවීමෙන් මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස සොරකමේ නියැලී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
 වයස අවුරුදු 25ක් වන සැකකරු හිඟුල, ගනේතැන්න, මාවනැල්ල ලිපිනයේ පදිංචි කරුවෙකු බවත් මෙම පුද්ගලයාගේ පියා කොළඹ ප්‍රදේශයේ නාට්ටාමි වරයෙකු වශයෙන් රැකියාව කරන අතර පියා සමඟ කොළඹට පැමිණ පියා මගහැර ගම්පහ, කඩවත,කිරිබත්ගොඩ, නවගමුව, වැනි ප්‍රදේශ වල වෙළඳ සැල් බිඳ දුරකථන කාඩ්පත්, දුම්වැටි, ගෑස් සිලින්ඩර්, විදුලි උපකරණ රාශියක් සොරාගෙන විකුණා එම මුදලින් හෙරොයින් පානය කර ඇති බවට අනාවරණය වූ බවත් පොලීසිය පැවසීය.
සිදුකළ වැඩිදුර විමර්ශන වලදී ගල්කිස්ස, මහරගම,  බොරලැස්ගමුව, වැලිකඩ, මිරිහාන, කොට්ටාව වැනි ප්‍රදේශ වල රාත්‍රී කාලයේ දී නිවාස හා කුලියට උපකරණ ලබා දෙන වෙළඳ ආයතන බිඳ මුදල් සහ විදුලි යන්ත්‍ර රැසක් සොරකම් කර තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවසීය.
සොයාගත් භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර් තුනක්, විදුලි අත් විදුම් යන්ත්‍ර 15, විදුලි කැපුම් යන්ත්‍ර (grinder) 05ක්, එල්.ඊ.ඩී ටීවී යන්ත්‍රයක්, දුරකථන කාඩ්පත්, දුම්වැටි අටසීයක්, වායු ආධාරයෙන් වාහන වලට තීන්ත ආලේප කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් තිබූ බවත් සොරකම් කළ ලක්ෂ 30 තිහකට අධික මුදලකින් දිනපතා හෙරොයින් පානය කර ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණයවූ බව පොලීසිය පැවසීය.
ගල්කිස්ස ප්‍රදේශයේදී සොරකම් කරන ලද රුපියල් 180000/= ක මුදලකින් දින තුනක් ඇතුළත සම්පූර්ණ මුදල වියදම් කර හෙරොයින් පානය කර ඇති බවත් සැකකරු පදිංචි මාවනැල්ල ප්‍රදේශයෙන් කොළඹට එන විට කොළඹ ආයතනයක උසස් නිලධාරියෙක් වශයෙන් රැකියාව කරන ආකාරය මිනිසුන්ට ඒත්තු ගැන්වෙන  ආකාරයෙන් ඇඳුම් පැළඳුම්වලින් සැරසී පැමිණෙන බවත් පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළිකර ගත් බවද පොලිසිය පැවසීය.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන සැකකරු විසින් පුද්ගල ඝාතන හෝ වෙනත් අපරාධ සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බවද පොලීසිය පැවසීය.
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක, ජේෂ්ඨ පොලිස් අධිකාරි 04 කුමාර වීරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක්ෂක චින්තක දසනායක, පොලිස් සැරයන් 43672 සුරංජිත්, 55871 ගාමිණි, 8105 රත්නායක, කාන්තා පොලිස් සැරයන් 5497 දීපානී, පොලිස් කොස්තාපල්  84742 ලක්ෂාන්, 88199 එරංග, 65283 සරත් යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Related posts