මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළදී මුහුදුබත් වූ නෞකා නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම් එක්කර ගනිමින් එම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළ මුහුදු බත් වී ඇති නෞකාවන් සංඛ්‍යාව 47ක්. එම නෞකා දැකබලා ගැනීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මුහුදු පතුලේ කිමිද ඒවා ඡායාරූප කිරීම මෙන්ම ගවේෂණය කිරීම සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රැසක්ද සිටියි.

එමෙන්ම, භෞතික වශයෙන් වටිනාකමක් ඇති නෞකා ඇත්නම් ඒවා ගොඩ ගෙන අබිලි ද්‍රව්‍ය ලෙස විකුණා එම මුදල් රජයේ ගිණුමට බැර කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. ඒ අනුව මුහුදුබත් වී ඇති නෞකාවන් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථිකයට උපරිම ආදායමක් උපයා ගැනීමටද හැකි වන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Similar Posts