2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත.

චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනයෙන් මිදීමට උපකාර වනු ඇතැයි ඇය සදහන් කළාය.

“චීනයේ එක්සිම් බැංකුව විසින් නිල ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස ශ්‍රී ලංකාවේ මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් ලබා දෙමින්, 2022 සහ 2023 වසර තුළදී ගෙවිය යුතු ණය වෙනුවෙන් සේවා දිගුවක් ලබාදීමට සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම කාලසීමාවන් තුළ ශ්‍රී ලංකාවට බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනයෙන් මිදීමට උපකාර වනවා.

මෙම කාලසීමාව තුළ මධ්‍ය කාලීන සහ දිගුකාලීන ණය ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී උපදේශනයක් ලබාගැනීමට එක්සිම් බැංකුව කැමැත්ත පළකර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට දායකවීමට උපරිම උත්සාහයක් දරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ඉල්ලුම් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බවද එක්සිම් බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන ලෙසත්, හැකි ඉක්මනින් ණය ආධාර ලබාදෙන ලෙසත් චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිනවා.

චීනය ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදී ඇති මෙම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත් ඒකාබද්ධව හා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරන බව අපි ප්‍රකාශ කරන්න කැමැතියි.”

Similar Posts