පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි  කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ  පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත් බවත් මෙම පුද්ගලයා මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී පමුණුව ප්‍රදේශයේ ජංගම වෙළඳුන්ගෙන් හා පදික වෙළඳුන්ගෙන්  සොරකම් කරන ලද රෙදිපිළි තොගය පිළිබඳව සුලමුල සොයා ගැනීමටත් හැකිවූ බව පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට වඩා අධික නිමි ඇඳුම් සහ රෙදිපිළි පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට විකුණා තිබියදී සොයා ගත් බවත් පොලීසිය පැවසීය.
වයස අවුරුදු 36 වන මෙම සැකකරු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් රෙදිපිළි සියල්ල විකුණා ලබා ගත් මුදලින් හෙරොයින් පානය කර ඇති බවත්සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකරු තමාගේ ශරීරයේ තිබෙන වකුගඩුව කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩු ආබාධයක් සඳහා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකුට ලබාදී රුපියල් ලක්ෂ විස්සක් ලබාගෙන එම සම්පූර්ණ මුදලින්ම හෙරොයින් පානය කර ඇති බවත් එම මුදල් අවසන් වූ පසු නැවත නැවත වකුගඩුව ලබාදුන් පුද්ගලගෙන් මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කර ඇති බවත් පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සොරකම් කරන ලද රෙදිපිළි අතර කුඩා ළමුන්ගේ නිමි ඇඳුම්, කාන්තා නිමි ඇඳුම් හා ඩෙනිම් වර්ගය කලිසම් සහ කමිස තොගයක්ද තිබූ බවද පොලිසිය පැවැසීය.
පෑලියගොඩ සිට අලුයම් කාලයේ දිනපතාම අත්තිඩිය, බඩෝවිට ප්‍රදේශයට හෙරොයින් ලබා ගැනීම සඳහා පැමිණෙන මෙම සැකකරු එම ස්ථානයෙන් හෙරොයින් ලබාගත් පසු මහරගම ප්‍රදේශයට පැමිණ පන්සලපාර හා පමුණුව පාර අතර දුම්රිය පටුමග ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී හෙරොයින් පානය කර ඉන්පසුව පමුණුව හා හයිලෙවල් මාර්ගයේ පදික වෙළෙඳුන් විකිණීමට රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි ඇසුරුම් කල විශාල මලු සොරකම්කර ත්‍රීරෝද රථයකින් බස්නැවතුම් පොළ වෙත ගෙනගොස් මාර්ග අංක 138 මහරගම, පිටකොටුව බස්රථවලින් පිටකොටුව ප්‍රදේශයට ගෙන ගොස් එම ප්‍රදේශයේ වෙළඳසැල් වල හිමිකරුවන්ට විකුණා ඇති බව  අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.
 සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් අසංක, කොට්ඨාස 04 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර වීරසිංහ මහත්වරුන් ගේ පූර්ණ අධීක්ෂණය මත  මහරගම පොලීස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක පොලිස් සැරයන්වරුන් වන 8105 රත්නායක, 43672 සුරංජිත්, 55871ගාමිණී, කාන්තා පොලිස් සැරයන් 5497 දීපානී, පොලිස් කොස්තාපල් 65283 සරත් , 88199 එරංග, 84742 ලක්ෂාන්, 86221 වීරසිංහ යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts