වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැලිකන්ද නගරයේ වෙළද සැල් ඊයේ මුළුමනින්ම වසා දැමීමට වෙළද සංගමය ස්වේච්ඡාවෙන් ක්‍රියා කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාධිතයින් ගණන 119ක් වුවත් ඉන් 103ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා පවසයි.

වැලිකන්ද නගරයේ ආශ්‍රිතයන් හමු වූ වෙළද සැල් 18ක් වසා දැමීමට කටයුතු කළ බව පැවසූ ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ වැලිකන්ද නගරයම වසා දැමීමට වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් එක් වූ බවයි.

මේ අතර වැලිකන්ද හා පොලොන්නරුව කදුරුවෙල නගරවල  අධි අවදානම් තත්ත්වය තව දුරටත් ඉඅහළ යමින් තිබෙන බවත් වැඩිම ආසධිතයින් සංඛ්‍යාවක් කදුරුවෙලින් ද ඊයේ දිනයේ පමණක් 33ක් දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.පවතින අයහපත් කාළගුණය හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීමේ වේගය වැඩි වෙමින් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බව පවසන ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ හැකි තාක් සංචරණය සීමා කරන ලෙසයි

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Related posts