ගම සමඟ පිළිසඳරක් මීමුරේට

ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසදුම් හිමිවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින මීමුරේ ගම්මානයේදී පැවැත්වේ.

එහි මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මීමුරේ විහාරස්ථානයේදී  පැවැත්විණි.

මීමුරේ, කයිකාවල, කරඹකැටිය, දුන්ගොල්ල ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලු ගම්මාසීන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

මහනුවර දිස්ත්‍රිකයේ අතිදුෂ්කර ගම්මානයක් වශයෙන් මීමුරේ හැදින්වෙන අතර ඊට ජනාධිපතිවරයෙකු පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කරන මෙම ගම්වාසීන් අතිරේක ආදායම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇත්තේ සංචාරක කර්මාන්තයයි. නකල්ස් දුම්බර කදුවැටියට යාබදව පිහිටි මෙහි ගම්වාසීන්  කිතුල් පැණි හා හකුරු ආශ්‍රිත කර්මාන්ත සහ ගම්මිරිස් වගාව අතිරේක ආදායම් මාර්ගයක් බවට පත් කොට ගෙන තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් එස්.ආර්.විජේතුංග මිය ඇතුලු පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts