ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී

ලංකාවේ නර්තන ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඒ තමයි ‘අග්නි’ සාම්ප්‍රදායික පහතරට නර්තනය විතරක් මූලික කර ගත්ත ලංකාවේ තියෙන එකම පරිපූර්ණ නර්තන තරගාවලිය. එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එක, මොකක් හරි නැටුමක් පුරුදු වෙලා ඇවිල්ලා නටලා තෑග්ගක් අරන් යන නර්තන තරගාවලියක් නෙමෙයි මේක. පළමුවෙනි වටය අවසානයේ දී කුසපත් ඇදීමකින් තෝරගත්ත නර්තන අංගය තරගකරුවන් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේ ම ඒ සම්බන්ධව ඔවුන් ශාස්ත්‍රීය ලිපියක් ලියන්න ඕන. ඊටත් අමතරව ඔවුන් ඉදිරිපත් කරන නර්තනාංගය ගැන ඉදිරිපත් කිරීමක් කරන්නත් ඕන. මේ සියල්ලෙන් ම දක්ෂතා දක්වන සැබෑ ශිල්පියා හෝ ශිල්පිනිය තමයි වසරේ දක්ෂතම සාම්ප්‍රදායික පහතරට නර්තන ශිල්පියා, ශිල්පිනිය කියන අග්නි කුසලානය දිනා ගන්නේ.

මේ තරගයට සාම්ප්‍රදායික පහතරට නර්තනය ම තෝරගන්න හේතු වුණේ වර්තමාන නර්තන කලා ක්ෂේත්‍රය ම තමයි. කොහෙන් හරි අහුල ගත්ත පහතරට අඩියක් නටලා පන්දමක් කරකවලා, ඔළුව වනලා, උකුළ පද්දලා, ගින්දර ටිකක් කටේ ඔබා ගත්ත ම එයාලට වඩා ශිල්පියෝ, ශිල්පිනියෝ නෑ. මේ දේ තුළින් ඊළඟ පරම්පරාවට ලැබෙන්නේ වැරදි ආදර්ශයක්. ඇතැම් වෙලාවට ඉගෙනගන්න එන ඇතැම් ළමයි පවා හිතන්නේ මොකක් හරි පහතරට අඩියක් හරි නැටුමක් නැටුවම එයාට වඩා පහතරට නැටුම් දන්න කෙනෙක් නෑ කියලා. ඔවුන් පහතරට නැටුම් කියලා දකින්නේ ඒ ජනප්‍රිය බහුභූත. පහතරට නර්තනය තුළ මහා විශාල දැනුම් සම්භාරයක්, ශාස්ත්‍රීය බවක් සහ සුන්දරත්වයක් තියෙනවා. හැම නර්තන සම්ප්‍රදායකට ම මේ කාරණාව පොදු දෙයක්.

අරයා වැරදී මෙයා වැරදී කිය කියා එකිනෙකා විවේචනය කරගෙන ගහ මරාගන්න වෙලාවේ තමන්ට පුළුවන් හැටියට තමන් ඉගෙන ගත්ත කලාව පෝෂණය කිරීම වැදගත්. ඒ වෙනුවෙන් තියපු පළමුවෙනි පියවර අග්නි. නටන්න දන්නවා උනාට, මේ නැටුම මොකක්ද ? ඇයි මේ නැටුම නටන්නේ? මොනාද විශේෂ ලක්ෂණ ? මේ වගේ ඒ නර්තනවලට අදාළ සාහිත්‍යමය විමර්ශනයක්, ගවේෂණයක් නර්තන ශිල්පියාට හෝ ශිල්පිනියට නෑ. ජනප්‍රිය බහුභූත නිර්මාණය වෙන්න ඒක තව ප්‍රධාන හේතුවක්. සමහර වෙලාවට නර්තනය පුහුණු කරපු කෙනත් ඒක කොහෙන් හරි හොරකම් කරපු එකක්.

ඉතින් අපේ සාම්ප්‍රදායික නර්තන කලාව විනාශ වෙන එක අරුමයක් නෙමෙයි. ඒ නිසා තමයි අග්නි අවසන් තරගයට ඉදිරිපත් වන සියලු ම තරගකරුවන් තමන් ඉදිරිපත් කරන අංගය ගැන ශාස්ත්‍රීය ලිපියක් සහ ඉදිරිපත් කිරීමක් කරන්න ඕන.

ඒ තුළින් කළින් කියපු අගතිගාමී සාධක යම් තාක් දුරකට හෝ නැති කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා සහ එතැනින් ලබා ගත්ත ආභාසයෙන් ඒ බිහි වුණ අය තමන්ගේ කාර්යය නිවැරදි ව සමාජගත කරාවි කියන සද්චේතනාවත් සාම්ප්‍රදායික නර්තනය ම මේ සඳහා තෝරගන්න ප්‍රධාන හේතුවක්.

අග්නි අවසාන තරග උත්කර්ෂය අප්‍රේල් 29වන දිනට යෙදෙන 39වන ජාත්‍යන්තර නර්තන දිනය දවසේ මරදාන ටවර් හෝල් රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සියල්ල සුදානම්. නියම පහතරට නැටුම් බලන්න ආස අයට, කලාලෝලී සියලුදෙනාට ආරාධනා කරනවා එදින හවස 4ට ටවර් රඟහලට එන්න කියලා.

ඔබේ පැමිණීමත් අපේ සාම්ප්‍රදායික නර්තන කලාව රැක ගැනීමට ගන්නා උත්සාහයක් විදිහට මම දකින්නේ. සීමිත පිරිසකට පමණක් ආසන වෙන් කෙරෙන නිසා ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න. වැඩි විස්තර අපේ අග්නි FB Page එක හරහා ඔබට දැන ගන්න පුළුවන්.

Related posts