විදේශ අමාත්‍ය ජිනීවා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් කළ කතාව

dinesh gunawardana

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ඉහළ කාණ්ඩය 2021 පෙබරවාරි 23, ජිනීවා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමියණි,
මහ කොමසාරිස්තුමියණි,
සම්භාවනීය තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,

මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකල ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත.

දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝදාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ලෝකයේ කෲරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත්, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙනය.

ලෝක නායකයන් දෙදෙනෙකු ඝාතනය කළ, එනම් ශ්‍රී ලංකාවේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයකු සහ දේශසීමාවෙන් ඔබ්බට සිය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය.

එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණුවලින් සමන්විත යෝජනාවක් ගෙන ඒමට එක්ව කටයුතු කළ අතර, අද දවසේ පවා ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍රශීලී රටවල උපකාරයෙන් එය පරාජයට පත් කරන ලදී.

හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදැරි කරගත් තවත් යෝජනා මේ කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ඒ හැම අවස්ථාවකදී ම, ඒවායේ ඇති ක්‍රියාපටිපාටි පිළිබඳ අයෝග්‍යතාවන් මෙන් ම එවැනි ක්‍රියාවලීන් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍යයන්ට බලපාන භයානක පූර්වාදර්ශයක් ඇති විය හැකි ආකාරයත් ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේය.

2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30/1 යෝජනාවට සම-අනුග්‍රාහකයන් වශයෙන් සම්බන්ධ විය.

ඉටු නොකළ හැකි මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැඳීම් රාශියක් ඊට අන්තර්ගත විය. මෙය ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිස එසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙන එමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට තුඩු දුන්නේය.

2019 නොවැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකාවේ ජනතාව ලබාදුන් අති මහත් ජනවරමෙන් ඔවුන් මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පැහැදිළිවම ප්‍රදර්ශනය විය.

මේ ජනවරම පදනම් කරගෙන, මේ කවුන්සිලයේ 43 වැනි සැසියේදී ශ්‍රී ලංකාව යෝජනාවට සම -අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශයට පත් කළෙමි. මේ කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම ඒම අවස්ථාවේදී ප්‍රකාශ කළෙමි.

පවත්නා යාන්ත්‍රණයන් දිගටම පවත්වාගෙන යෑම, ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම, දරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන් ම විස්තරාත්මක යාවත්කාල තොරතුරු ද 2020 දෙසැම්බර් මාසෙයේදී මෙන්ම 2021 ජනවාරි මාසයේදී ද අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සපයා ඇත්තෙමු.

පසුගිය වසර පුරාම කෝවිඩ් -19 නිසා ඇති වූ බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී පවා මේ පියවර ගෙන ඇත . මේ අභියෝග මධ්‍යයේ වුව ද 2020 අගෝස්තු මාසයේදී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයන්ගෙන් එකක් වන අප රටෙහි අප විසින් තුනෙන් දෙකක බලයක් සහිත රජයක් තෝරා පත්කර ගන්නා ලදී.

මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගීත්වය පිළිබඳ හැඟීම තිබියදී වුවද ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කොටස් මේ OHCHR වාර්තාව පදනම් කරගෙන තනි රටක් ඉලක්ක කරගත් තවත් යෝජනාවක් සභාගත කිරීමට අදහස් කිරීම කනගාටුදායකය.

ආත්ම ගරුත්වය ඇති ඕනෑම ස්වෛරී රටක අවශ්‍යයෙන් ම අභ්‍යන්තරික වන කරුණු හා පාලනය පිළිබඳ බොහෝ කාරණා ඇතුළත් කරමින්, ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මේ වාර්තාව, සාධාරණීකරණය කළ නොහැකි පරිදි සිය විෂය පථය මෙන්ම පැවරී ඇති කාර්යයද තවදුරටත් පුළුල් කර ඇත.

මේ සභාවේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් මේ ව්‍යාපාරය මේ කවුන්සිලය ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්ම ම උල්ලංඝනය කරන හුදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ස්වයං විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සිලයේ සාමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ට ද මම බාර කරමි.

විශේෂයෙන් ම විදේශයන්හි සිදු කරන ලද යුදමය මෙහෙයුම්වලදී නඩු පැවරීමෙන් සිය හමුදා භටයන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන අවස්ථාවකදී ඔවුන්ගේ අභිප්‍රායන්ගේ දෙබිඩි හා කුහක ස්වභාවය මෙයින් පෙනේ. ත්‍රස්තවාදයට එරෙහි අරගලයට මැදි වී සිටින රටවල චිත්ත ධෛර්යය සැලකිය යුතු ආකාරයෙන් නැති කිරීම හැර වෙනත් ප්‍රතිඵලයක් මින් ඇති විය නොහැකිය.

මෙම කවුන්සිලය තුලාව සමබරව දැරිය යුතුය. අනුන්ගේ ප්‍රවාද, ඒකපාර්ශ්වික ක්‍රියා හෝ එක් කෝණයකින් පමණක් බලන සැක කටයුතු මූලාශ්‍ර අනුව කටයුතු නොකර, සිය මෙහෙයුම් මූලධර්මවලට එය අනුකූල විය යුතුය. මේ කවුන්සිලය සමඟ ඇති අපේ අඛණ්ඩ සහයෝගීතාව හා සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන්ම පුළුල් ප්‍රචාරය වෙමින් පවතින බාහිර වශයෙන් මෙහෙයැවෙන උපදෙස් අවධාරණයෙන් ගැනීම තුළ විවිධාකාර අභියෝග ඇති විය හැකිය.

මෙම කවුන්සිලය ද දන්නා පරිදි, මේ කෝවිඩ් -19 ලෝක ව්‍යාප්ත වසංගතයෙන් මිදිමටත්, පීඩාවට පත් ආර්ථිකයන් නඟා සිටුවීමටත් අප දරන ප්‍රයත්නයන්හිදී අප හැම එක්සත්ව සිටිය යුතු, ලෝකයටම තීරණාත්මක වූ අවස්ථාවකි.

අපේ අඛණ්ඩ සහභාගීත්වය හා සහයෝගීතාව පිළිබඳ යහපත් ගුණාංගය සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් වුව ප්‍රතික්ෂේප කරමින් අපට සහය ලබා දෙන ලෙසත්, මම මේ කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමි.

අපේ විශ්වාසය වන්නේ මේ කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් අපතේ ගොස් ඇති බවත්, එය දක්ෂිණ ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් අධෛර්යමත් කරන පණිවුඩයක් එමඟින් කියවෙන බවත් ය.

කිසිදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්ත වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සිලය තුළින් මතු වන දැඩි ද්වේශයට හා ක්‍රෝධයට වඩා එකමුතුකම ය.

ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සිලය විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියකට ගෙන ආ යුතු යැයි අපි දැනුම් දී සිටිමු.

බුදුරජානාන් වහන්සේ වඳාල දහමින් උපුටා දක්වමින් මාගේ ප්‍රකාශය අවසන් කරන්න කැමැත්තෙමි.

“සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා
සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා,
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා”

ආයුබෝවන්!

Related posts