විජිතපුර බලකොටුවේ බැම්මක් ඩෝසර් කරයි

ඓතිහාසික විජිතපුර බලකොටුවේ ඉපැරණි ආරක්ෂිත බැම්මක් වශයෙන් සැලකෙන ස්ථානයක් ඩෝසරයක් යොදා විනාශ කර විජිතපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සීමාව බව කියමින් ආරක්ෂිත තාප්පය සිමෙන්ති ගලින් ඉදිකිරීම පුරාවිද්‍යා ස්මාරකවලට හානී සිදුකිරිම ඇතුළු චෝදනාවන්ට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පල්ලියේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු දස දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත ඒකනායක මහතා ඊයේ (13දා)නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ විජිතපුර අලහප්පෙරුමාගම මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ජබර්දීන් මොහමදු සියාබ්දීන් ලේකම් මුතාලිෆ් කයිරුෆ් භාණ්ඩාගාරික අහමදු ලෙබ්බේ අන්වර් අධීක්ෂන නිලධාරින් වන නවුෆර් පිච්චෙයි නසුරුදීන් හා ඊබ්‍රාහිම් ලෙබ්බේ නවුෆර් ඩොසර් රථ රියදුරා වන ගල්වංගුව ඉපලෝගම පදිංචි ඩබ්ලිව්.එම්.දිනේෂ් සංජීව වීරසිංහ සෙල්ලිපියක් මිරිස්ගලක් ලෙස භාවිතා කළ මතාලී යුගයිදීන් ඇතුළු දස දෙනෙකි.

උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පූගොල්ලාගම අලහප්පෙරුමාගම පිහිටි පල්ලිය පිහිටි ස්ථානයට පැමිණ විනාශවූ ස්ථානය දැඩි නිරික්ෂනයට ලක්කල අතර අපක්ෂපාතිව පරික්ෂන කටයුතු සිදුකරනා ලෙස අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයට උපදෙස් දුන්නේය.

අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ මහතා විසින් ලබාදුන් උපදෙස් වලට අනුව පුරාවිද්‍යා කළාප භාර නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා පසුගිය (08දා) ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කිත්සිරි හේරත් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය වහාම ක්‍රියාත්මකවි පුරාවිද්‍යා වටිනාකමක් ඇති ආරක්ෂිත බැම්ම ඇතුළු ස්ථාන විනාශ කළ පුද්ගලයන් පිරිස (11දා) වනවිට හදුනාගෙන තිබුණි.

ඒ අනුව පෙරේදා (12දා) සවස අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කළ අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ සැරයන් සෙනරත් වීරකෝන් මහතා හා පොලිස් කොස්තාපල් පෙරේරා යන මහත්වරුන් කියා සිටියේ අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ මහතාගේ උපදෙස්මත දිනේෂ් සමන් කුමාර මහතා ඉපලෝගම පොලිස්ථානයට කර තිබෙනා පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකළ බවයි.

එහිදි සැකකරුවන් දස දෙනෙකු මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන් පුරාවස්තු විනාශයට සම්බන්ධවි ඇති බව අනාවරණය වීම නිසා අධිකරණයට ඉදිරිපත් කළ බව නිලධාරින් අධිකරණයට දැන්වූහ.

අදාල පල්ලියේ පූජකවරයෙකු නොමැති බවත් එහි ප්‍රධානියා වන සභාපතිවරයා ලේකම්වරයා භාණ්ඩාගාරිකවරයාගේ උපදෙස්මත ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු ඉපැරණි ගල්බැම්ම පෙරලා වෙනත් ස්ථානයකට තල්ලුකර ගොඩගසා තිබෙන අයුරු පරික්ෂන වලින් අනාවණයවු බව නිලධාරින් අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධියට සම්බන්ධවු පල්ලියේ නිලධාරින්ට අමතරව ඉපැරණි සෙල්ලිපියක් නිවසක මිරිස් ගලක් වශයෙන් භාවිතා කළ නිවෙස් හිමියෙකු හා පුරාවිද්‍යා ස්මාරක වලට හානී කරමින් පොල් කෙසෙල් හා රටකජු වගා සිදුකළ තිදෙනෙකුත් අත්අඩංගුවට ගත් බව නිලධාරින් අධිකරණයට සැල කළහ.

පල්ලියේ ආරක්ෂිත ස්ථිර තාප්පය අඩි අටක පමණ උසින් හා මීටර් 120ක ප්‍රමාණයක දිගින් යුතු බවත් ඒ අසල තිබු විශාල ප්‍රමාණයේ ඉපැරණි ගල් විශාල ප්‍රමාණයක් විවිධ ස්ථාන වල තිබි හමුවූ බවත් පුරාවිද්‍යා ස්මාරක වල කුකුල් කූඩු ඇතුළු විවිධ දෑ ඉදිකර තිබෙනා අයුරක් නිරික්ෂනයවූ බවත් පොලිස් නිලධාරින් අධිකරණයට දැන්වූහ.

පුරාවස්තුවලට හානී සිදුකිරීම සම්බන්ධයෙන් අලහප්පරෙුමාගම 492 තුලානේ අමුණුවැටිය ග්‍රාමනිලධාරිවරයා ගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙනා බවත් සැකකරුවන් මෙම ස්ථානය පුරාවිද්‍යා බිමක් බව දැන දැන විනාශකර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වු අතර පුරාවිද්‍යා බිම වැනසීමට යොදාගත් ඩෝසරය සොයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

අදාල ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පුරාවිද්‍යා වාර්ථාවක් කැදවනා ලෙස නියෝග කළ විනිසුරුවරයා අදාල භූමිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර ඉදිරි දිනයේදි ප්‍රගතිය සහිත වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසත් ඩෝසරය නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇල්ලේපොල ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපති කිත්සිරි හේරත් පොලිස් සැරයන්වරුන් වන වීරකෝන් 36446 හරස්ගම 31166 වැල්ලගිරිය 61274 පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා 28118 ඉන්දික 47836 හා රියදුරු ආනන්ද 34270 යන නිලධාරින් පරික්ෂන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපක් කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts