අපි දුක් විදිනවා කෙළවරක් නෑ – කොරෝනා නිසා තවත් අසරණ වුණා

වීරකැටිය‘’දෙබොක්කාව’’ පාරම්පරික පවුල් සිය ගණනක් ජීවත්වෙන ගම් පියසකි.. ගමේ බහුතරයක් ජීවිතය ගැට ගහගන්නේ  ගොඩ ගොවිතැනෙන්ය.

පරම්පරා ගණනක් බවබෝග වැවුවද ඔවුන් ගේ ජීවිත සරු වී නොමැත.හරි හමන් ආදායම් මාර්ගයක් නැති නිසා මෙන්ම වගා කරන්නට බිමි කඩක් නැති නිසාද ගඩොල් කර්මාන්තය තෝරාගත් පවුල් රැසක්  ද දෙබොක්කාවේ  වෙසෙති.

එකා දෙන්නාගෙන් ආරම්භ කරන ලද ගඩොල් කැපීමට මේ වන විට දෙබොක්කාවේ  පවුල් සියයක් පමණ සම්බන්ධ වී සිටිති.පවුලේ දරු පැටවු උස් මහත් වෙන විට ඔවුන් ට කුසට අහරක් දෙන්නට පාසැල් යවන්නට ඇදුමක් පැළදුමක් අරන් දෙන්නට මගක් නැති කළ ඔවුන් ගෙවත්තේ මහ පොලව බිද දිය කර ගඩොල් කපන්නට පටන් ගත්හ.

පියා අලවංගු කොට වලින් මහ පොළව බිද කෑට පා වලින් මැටි අනා ගඩොල් කපන්නට සුදුසු තත්වයට පස සකස් කරන අතර පවුලේ අනෙකුත් සාමාජිකයින් ගඩොල් කපන්නටත් ඒවා අට්ටි ගසන්නටත් පෙරමුණ ගත්හ.ගඩොල් පෝරණුවට ගිණි දමා ගඩොල් කැට රන්වන් පාට වන තෙක් ගින්දර සමග පොර බදන්නේ ද පවුලේ සාමාජිකයින්ය.

දූම්රොඩු කකා ලොරි වලට ගඩොල් පටවන්නේද පවුලේ පියා මව හා දූ දරුවන්ය.අවසානයේදී දුක් මහන්සියෙන් නිපදවන ලද ගඩොල් කැටේ ණයට දී ලොරිකරු නැවත පැමිණෙන තෙක් බොහෝ අය සති ගණනක් බලා සිටිති.

මුළු ජීවිත කාලයම අපි  මහ පොළව සමග හැප්පුනු මිනිස්සු . තුන් වේල හරි හම්බ කර ගත්තේ මහ පොලව සමග ඔට්ටු වෙලා. දැන් අපිට තුන් වේල කන්නවත් විධියක් නෑ .කොරෝනා අපිට හැදුනෙ නැති වුණාට කොරෝනා නිසා අපේ මුළු කර්මාන්තයම කඩා ගෙන වැටුනා.

දෙබොක්කාවේ  ගඩොල් කර්මාන්ත කරුවන්  සියළු දෙනාම  අද අන්ත අසරණ වෙලා.දැන් මාස ගණනාවකින් ගඩොල් කැටයක් විකුණගන්න බැරි වුණා. කොරෝනා වසංගතය අවාට පස්සෙ ගඩොල් මිලදී ගන්න ලොරි එකක්වත් ගමට එන්නේ නෑ.

අපි මහ පාරට වෙලා අදවත් ලොරියක් එයිදෝ කියා දවස පුරා බලා ගෙන ඉන්නවා. ඉදල හිටිල ලොරියක් දෙකක් ගමට එනවා ගඩොල් කැට තුන් හාර දාහක් අරගෙන යන්න. ගඩොල් ටික පටවා ගත්තට පස්සෙ කියනවා ග‌ඩොල් වල සල්ලි සතියකින් දෙන්නම් කියල ඊට පස්සෙ ලොරි කාරයෝ දකින්න වත් නෑ.

ගොවිතැනෙන්  ඈත්වී තම ගෙවත්තේ මහ පොලව බිද ගඩොල් කපා එයින් ද ජීවත් වෙන්නට මගක් නැතිව සිටිනා එස්.පී නන්දසේන මහතා පවසන්නේ තමන් පදිංචි ඉඩමේ පස් ටිකද තමන්ට අහිමි වී ඇති බවයි.

ජීවත්වෙන්න මම බොහෝ දේවල් කළා.ගොවිතැන් කරල වැඩක් නෑ ගොවිතැන වතුර නැතිව මැරිල යනව. අස්වැන්න විකුණ ගන්න බෑ ඵලදාව තියෙන කාලෙට කුණු කොල්ලෙට අස්වැන්න දෙන්න වෙනව.

කරන්නම දෙයක් නැතිව ගඩොල් කපන්න පටන් ගත්ත. දැන් මහ පොලව ඉවරයි. මුළු ඉඩමම දැන් මහා වලක් . ඒ වුණත් අපට ගොඩ යාමක් නැති වුණා.අපිත් වලේ .

මීට මූලික හේතුව මේ කර්මාන්තයට අතහිත දෙන්න කෙනෙක් නැති වීමයි. ආණ්ඩු විසින් අපි නොසලකා හැරල තියෙනවා.අපි කොහොම හරි ජීවත් වෙන නිසා අපෙන් ආණ්ඩුවට කරදරයක් නැති නිසා ආණ්ඩු අපි ගැන බලන්නේ නෑ.

එස්.කේ. නිමලාවතීද ගඩොල් කර්මාන්තය සමග හැප්පෙන යකඩ ගැහැණියකි. ඇයගේ කථාවද මිහිරි නැත.අපි ජීවත් වන්නේ කඩොල් කපල. වත්තෙ පස් ටික දැන් ඉවරයි ගඩොල් කපලම.

දැන් පස් සල්ලි වලට ගන්නවා. ලොරියක් රුපියල් හාර දාහයි. ඒ පස් ටිකෙන් කපන්න පුළුවන් ගඩොල් කැට හත්දාහක් පමණයි.ඒක විකුණල  රුපියල් 40 000 ක් විතර අතට ගන්න පුළුවන්.ඒකත් යන්නෙ ණයට සමහර කාල වලට ලොරි කාරයොන්ගෙන් සල්ලි ගන්න මාස ගණන් යනවා.

දැන් එහෙමවත් ගඩොල් විකුණන්න බෑ . කොරෝනා ආවාට පස්සෙ  ගඩොල් වෙළදාම නැත්තටම නැති වුණා.

ගේ දොර හදාගන්න සමෘද්ධියෙන් ණය අරන් තියෙනවා.ඒ ණය වාරික මාස ගණනක් ගොඩ ගැහිලා සමෘද්ධිය දැන් පොලියට අමතරව දඩ පොලියකුත් ගන්නවා.බන්ධුල ගුණවර්ධන මහත්තය කිවුව සහන  අපිට සමෘද්ධි බැකු වලින් ලැබුනේ නෑ.

මේ ගමේ හැමෝටම රුපියල් විසිතිස් දාහ දැන් ගෙවන්න වෙලා තියෙනවා සමෘද්ධි බැංකුවට මේ ණය කොහොම ගෙවල ඉවර කරන්නද කියල අපිට හිතා ගන්නවත් බෑ.

එම්. කේ. නිමලාවතී ගේ කථාවද ඊට නොදෙවෙනිය.දැන් අපිට ජීවත් වෙන්න විධියක් නෑ.කොරෝනා අපිට හැදුනෙ නැති නුණාට කොරෝනා වලින් පස්සෙ අපේ ගඩොල් කර්මාන්තය නැත්තටම ඇදන් වැටුනා.

අපි දුක් මහන්සියෙන් හරි හම්බ කරල ජීවත් වෙන අය. නමුත් දැන් අපිට ජීවත් වෙන්න විධියක් නෑ.

දැන් සමෘද්ධි බැංකුවෙන් ගත්ත ණය හිර වෙලා.

ඒව ඉල්ලල  සමෘද්ධි බැංකවේ මහත්වරු කරදර කරනවා.අපිට ගෙවා ගන්න විධයක් නෑ. ආණ්ඩුවෙන් දෙනව කිවුව සහන කිසිවක් ලැබුනේ නෑ. ඒව රේඩියෝ එකට ටී. වී. එකට පමණක් සීමා වුණා.දැන් කරන්න දෙයක් නෑ. පදිංචි ඉඩමෙන් කෑල්ලක්  විකුණල ණය ගෙවන්න තමයි දැන් හිතාගෙන ඉන්නෙ නිමලාවතී පවස්නීය.

දෙබොක්කාවේ ගඩොල් කර්මාන්ත කරුවන් බොහෝ පිරිසකගෙන් ඇසෙන්නේ දුක් අදෝනාය. කොරොන් වසංගත තත්වයත් සමග ආණ්ඩුවෙන් ඔවුනට ලැබී තිබුනේ රුපියල් දස දහසේ දීමනාව පමණය.

තුන් හතර දෙනෙකු වෙසෙන  පවුලකට එම මුදල ජීවත් වීම සදහා කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත.කුලියක් කරන්නටද ඔවුන්ට අවස්ථාවක් නැත .

සමාජයට බරක් නොවී තම ජීවිතය ගැටගහ ගත් දෙබොක්කාවේ ගඩොල් කර්මාන්ත කරුවෝ  වගකියව යුතු අයගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත්වීම සදහා යම් නිශ්චිත වැඩ පිලිවෙලක් සකස් කරන ලෙසයි.

 

චන්ද්‍රසේන ගමගේ

Related posts

Leave a Comment