ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට පෙරේදා(02) සවස 5.10ට පමණ වන අලියෙකු ගැටී මිය ගිය බව වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාලය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර වයසක අඩි අටක් පමණ උස අලියෙකි.

වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය සැතපුම් 117 වන කණුව අසල දී මෙම අලියා දුම්රියේ ගැටී ඇති අතර සෝමාවතිය ත්‍රිකෝණමඩු හා වඩුමුනේ රක්ෂිත අතර අලි සංචරණ කලාපයේ දී මෙම අලියා දුම්රියේ ගැටීම විශේෂිතය.

දුම්රියේ ගැ‍ටුණු අලියා දුම්රිය මාර්ගය හරස් කරමින් මාර්ගයේ ඇද වැටී ඇති අතර මේ හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා ඇති විය.

වනජිවී නිලධාරින් බැකෝ යන්ත්‍රයක් හා දුම්රියේ ආධාරය ඇතුව මිය ගිය අලියා දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරීමට හැකි විය.

මියගිය අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කිරීමට නියමිතය.පින්තූරවල දැක්වෙන්නේ මියගිය අලියායි.

බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

Related posts