අලි වැඩ පෙන්වයි – ගම්මානයක් අනතුරේ

ඉපලෝගම ආමනේ ප්‍රදේශයට වන අලි කණ්ඩායමක් කඩාවැදි එම ගම්මානයේ නිවසකට බරපතල අලාභහානි සිදුකර වන අලින් රාත්‍රීය පුරා ගම්මානය දෙවනත් කළ බව ගම්වැසියන් පවසති.

වන අලි පස්දෙනෙකු හදිසියේ කඩා වැදී නිවසකට එල්ලකළ දරුණු ප්‍රහාරයෙන් නිවසක මුළුතැන්ගෙයි කොටසකට බරපතල අලාභ හානි සිදුව තිබෙන බවත් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර ඉදිකර තිබෙනා අලි වැට එක් ස්ථානයකින් නඩත්තු නොවීමෙන් ගම්මානයේ ජනතාවට පීඩා විදිමට සිදුව ඇති බව ගම්මුන් පවසති.

ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආමනේ මච්චාගම හල්මිල්ලෑව කඩියන්ගල්ල යන ගම්මාන ආවරණය වන පරිදි අලිවැට ඉදිකර නඩත්තු කටයුතු සිදුකළත් වලගම්භාහුව ප්‍රදේශයේ ඇති අලිවැට ආරක්ෂා කිරීමට ඇති මුරකුටිය ක්‍රියාත්මක නොවීම නිසා ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්වි සිටින බව අනාවරණය විය.

පෙරේදා (10දා) රාත්‍රීයේ ආමනේ ප්‍රදේශයට වන අලින් කඩාවැදි මල්ලිකා රත්වත්ත මහත්මියගේ නිවසේ මුළුතැන් ගෙයට දරුණු ප්‍රහාරයක් එල්ලකර තිබෙනා අතර ස්ථිරව සාදා තිබු මුළු තැන්ගෙයි කොටසක් වන අලින් මුළුමනින්ම බිමට සමතලා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු මල්කිකා මහත්මියගේ සැමියා.මම ලෙඩින් ඉන්නේ පෙරේදා(10දා) රාත්‍රී 11ට විතර වන අලියෝ නිවස වටකරා කියලා දැණුනා.මගේ හාමිනේ අනේ පුතේ යන්න අපිට කරදර කරන්න එපා කිය කිය කන්නලව් කරා.

මම කිවුවා ගෑණු කට්ටිය කිවුවට අලි ඔය කියන දේවල් අහන්නෑ කියලා.ඒ එක්කම ගෙදරට විශාල ප්‍රහාරයක් එල්ලවුණා.නිවසේ මුළුතැන්ගෙයි කොටසක් සම්පූර්ණයෙන්ම විනාශයි.ගෙදර වී ඇටයක්වත් නෑ.අස්වනු කපලා ගෙට ගත්තේ නෑ.එහෙම තියෙද්දි තමයි ප්‍රහාරය එල්ලවුණේ යනුවෙන් ඒ මහතා කණගාටුවෙන් යුතුව පැවසුවේය.

ගම්වැසියන් කියා සිටියේ වලගම්භාහුව ප්‍රදේශයෙන් අලිවැට ආරක්ෂාවට රුපියල් ලක්ෂ ගණනාවක් වියදම්කර මුරකුටියක් සකසා ඇතත් එම ස්ථානය රැකීමට කිසිවෙකු නොමැතිවිම නිසා වන අලින් ගම්වදිනා බවයි.

මුරකුටියේ දොර ජනෙල් පවා විවිධ පුද්ගලයන් ගලවාගෙන ගොස් ඇති බව පවසන ගම්වැසියන් එම ස්ථානය අනාරක්ෂිතව ඇති නිසා කිලෝමීටර් 10ක් පමණ දුරකට විහිදි ඇති අලිවැට ක්‍රියාත්මක වූවාට කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් පැවසුවේය.

ඊයේ (11දා) දහවල් වනතුරුම වන අලි කණ්ඩායම ගම්මානයේ රැදිසිටින බව ගම්වැසියන් පැවසු අතර ගනේවල්පොල වනජීවි නිලධාරින් පැමිණ ගිය බව ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts