මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි

Dulan-Dasnyake

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතනයන්ට එරෙහි වෙමු, මහර වින්දිතයින්ට යුක්තිය ඉටු කරමු මැයෙන් රයිට් ටු ලයිෆ් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙය කොළඹ ජානකී හෝටලයේදි පවත්වන ලදි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය තුෂ් විකුමනායක මහත්මිය පවසා සිටියේ මේ මිලිටරිකරණයෙන් කොවිඩ් පාලනය කිරීම සිදුවන්නේ ක්‍රමවේදයේ ඇති විෂමතාවය මිසක් කිසිදු පුද්ගලයෙකුටවත්, හමුදාවටවත් එරෙහි නොවන බවය.

කොවිඩ් විශේෂ බලකායේ නායකයා වන හමුදාපතිවරයාම කොවිඩ් සම්බන්ධව නිරෝධායන  කටයුතු සම්පුර්ණයෙන්ම ඉටු කරන්නේ ත්‍රිවිධ  හමුදාවෙන් බව වගකීමෙන් පිළිගෙන ඇති බවත් ඇය කියා සිටියි.

මේ කොවිඩ් වසංගත සමයේ මහර බන්ධනාගාර සිරකරුවන් මූලික අයිතිවාසිකම් දෙකක් ඉල්ලා සිටි බවත් එනම් පි.සි.ආර් පරික්ෂණ කරන ලෙස හා මීට වඩා සුරක්ෂිතභාවයක් බන්ධනාගාරය තුල ඇති කරන දෙන ලෙසටය. නමුත් ඊට පිලිතුර වුයේ උණ්ඩයක් බවද ඇය පෙන්වා දෙයි.

මෙය ලංකාවේ පාර්ලිමේන්තුව පමණඛ් මෙය සාධාරණය කරන අතර මර්ධනයත් කරන බවත් ඒ් කිසිම විෂය පථයක් නොදන්නා කෙනෙක් නැගිට රිවස් පෙත්තක් ගැන පවසන අතර තවත් අයෙක් මානසික බෙහෙතක් ගැන පවසා ඒ් නිසා අවුල් වී ඇති බව පවසන බවත් නමුත් තමන් වසර තිහක පළපුරුදු වෛද්‍යවරියක් ලෙසත්, කොවිඩ් පාලනයේ මුල්පෙළ සිටි සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරියක් හැටියටත් එවන් රිවස් පෙත්තක්වත්, මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙත්තකින්වත් එසේ නොමැති බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදි අදහස් දැක් වු රයිට් ටු ලයිෆ්  මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පැවසුවේය.

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරිමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කළා.

ඒ කමිටුවේ අතුරු වාර්තාවක් 09 දා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.  ඒහි සඳහන් වුයේ දැනට මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 2782 ක් වන අතර ඒය බන්ධනාගාරයේ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි බවයි. මෙය මහරට මණක් නොව සෙසු බන්ධනාගාර වලටත් පොදු තත්ත්වයක්.

කොවිඩ් වසංගතය බන්ධනාගාර වලට ඇතුල් වුණහම රටේ විවිධ සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලිම් කළා බන්ධනාගාර තදබදය අවම කර ගන්න කටයුතු කරන්න කියලා.

කොවිඩ් වෛරසයට කලින් පවා මේ බන්ධනාගාර වල තදබදය අවම කරන්න, ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සුරකින්න කියා විවිධ සිවිල් සංවිධාන ඉල්ලිම් කර තිබුණා. ඒ් වගේම බන්ධනාගාර වල පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි ආකාරයකින් ක්‍රියාත්මක කරන්න කියාත් ඔවුන් අවධාරණය කළා. නමුත් මේ කිසිදු දෙයකට ප්‍රමාණවත් මැදිහත් විමක් කිසිදු රජයක් ඉටු කළේ නැහැ.

පි.සි.ආර් පරික්ෂණ කරන්න, සුදුසු ආහාර පාන ලබා දෙන්න කියන ඉල්ලිම් ඒදා මහර බන්ධනාගාර රැඳවියන්ගෙන් ඉදිරිපත් කෙරුණු අතර ඒ්වා සාධාරණ ඉල්ලිම් බවද ඒ් අතුරු වාර්තාවේ සඳහන් කර තිබුණා. ඒ් ඉල්ලිම් වලට රජය ප්‍රතිචාර දක්වපු විදිහ අපි සංවිධානයක් ලෙස අනුමත කරන්නේ නැහැ.

මේ සිදුවිමෙන් පසුව බන්ධනාගාරයට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ඒ් ලොහාන් රත්වත්තේ මහතා. ඔහු ඉතාම වගකිම් රහිතව පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේ කිසිදු රැඳවියෙකු වෙඩි තැබිමෙන් මිය ගියේ නැහැ කියලා. ඒ්ක පශ්චාත් මරණ පරික්ෂණ වලින් ඔප්පු වුණා කිව්වා.

ඒ්ක ඉතාම වැරදි සහගත ප්‍රකාශයක්. ඒ් වෙනකොට කිසිදු පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරලා තිබුණේ නැහැ. ඒහි නඩු විභාහගය වැලිසර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග වෙමින් තිබුණේ.

ඒ් වගේම රජය උත්සහ කලේ කොවිඩ් නිරෝධායන ක්‍රියාවලියට මුවා වෙලා මේ රැඳවියන්ගේ ආදාහන කටයුතු කඩිනමින් ඉටු කිරිමට. ආදාහනයක් සිදු කළ විට බොහෝ සත්‍ය යටපත් කළ හැකි වෙනවා.

අපරාධයක් සිදුව පුද්ගලයෙකු මිය ගියහොත් ඒ් වින්දිතයගේ සිරුර ආදාහනය කරන්න අධිකරණයකින් අවසර නැහැ.ඒ් සත්‍ය යටපත් වෙන නිසා.

පහුගිය කාලේ සිදු වු ඇතැම් අපරාධ වලට අදාලව ඒවැනි මෘත දේහ නැවත ගොඩගැනිම් අප අත්දැකලා තියෙනවා. ඒවිට අලුත් වාර්තා නිකුත් වි පරික්ෂණ වෙනත් දිසාවන්ට යොමු වෙලා සත්‍ය හෙලිදරව් වි තිබෙනවා.

නමුත් වැලිසර මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරමින්, අධිකරණය පිලිබඳ විශ්වාසය තවත් දැඩි කරමින් සුවිශේෂි තිරණ ගණනාවක් ලබා දි තියෙනවා.

ඔහු නිතිපතිවරයාට කරුණු දක්වන්නට අවසථාව ලබා දිලා මේ සම්බන්ධව තිරණයක් ගන්න විශේෂඥ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. නිතිපතිවරයාගෙත්, පංච පුද්ගල අතුරු කමිටු වාර්තාවේත් පැහැදිලව සදහන් කරලා තියෙනවා බන්ධනාගාරයේ වෙඩි තැබිමක් සිදුව ඇති බවට.

ඒ් වගේම කිසිදු රැඳවියෙකු අත වෙඩි තැබිමට යොදා ගන්නා ආයුධයක් තිබුණේ නැති බවට. ඒවන් පසුබිමක බන්ධනාගාර  අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ පරික්ෂණ කොයි දිසාවට කරගෙන යනවාද කියා සැකයක් මතු වෙනවා.

මෙහිදි අදහස් දැක් වු අතුරුදහන් වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේ පැවසුවාය.

උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා ගැනීම වෙනුවෙන් අරගල කිරිමේ ප්‍රතිඵලයක් ලෙස  එකස්ත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් එවකට පැවති රජයත් සමඟ එක් වී 2015 දී 30(1) නමැති යෝජනාව ගෙනවිත් එහි නිර්දේශ මත ලංකාවේ අතුරුදහන් වු පවුල් වල වින්දිතයින් වන අපට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය හිමි වුනා.

නමුත්  මේ වන විට එහි සභාපති ලෙස හිටපු විනිශ්චකාර උපාලි අබේරත්න මහතා පත් කර ඇති බවට දැන ගන්නට ලැබුණා.

මේ උපාලි අබේරත්න යන විනිශ්චකාරවරයා  මගේ නඩුව ඇතුලු තරුණයන් 11 කු පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකාරයින් වන චෝදනා ගොනු කර ඇති හමුදා  සාමාජිකයින් ඒ්කපාර්ශවීය ලෙස කැඳවා එහි සිටි සාක්ෂිකරුවන් විත්තිකරුවන් කර විනිශ්චය කළ පුද්ගලයා.

ඔහු  දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ් උතුරේ සිටින්නේ ත්‍රස්තවාදීන් බව පවසමින්.  ත්‍රස්තවාදියෙකු වුවත් මිනිසෙකු අතුරුදහන් වු විට ඔහු අතුරුදහන් පුද්ගලයෙක්. කිසිම පුද්ගලයෙකුට කිසිවෙකුත් අතුරුදහන් කිරීමට අයිතියක් නැහැ.  සෑම අයෙකුටම ජිවත් වීමේ අයිතිය හිමිව තිබෙනවා.

පැහැදිලිවම මම  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ   පත්වීම අවලංගු කරන්න කියලා.

එක්සත් ජාතීන්ගේ 30(1) යෝජනාවලියට සහාය දක්වන සියලුම රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ගෙන්ද මම ඉල්ලා සිටින්නේ මේ ශ්‍රි ලංකාවේ අතුරුදහන් වුවන් පිලිබඳ යාන්‍ත්‍රණය කිරීමට ඔබලා මැදිහත් වන්නා සේම මේ  පත්වීම අවලංගු කිරීමටත් මැදිහත් වන ලෙසටයි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතා,

අද අපේ රට මානව හිමිකම් පැත්තෙන් ගත් විට හුඟක් ඉදිරියට යන්න තියෙන රටක්. ඒ් නිසා තමා අපි මේ එකතු වෙන්නේ. මානව අයිතිවාසිකම් කියන්නේ සියල්ලන්ටම උපතින් අයිති දෙයක්.

ඉන් ප්‍රධානම වන්නේ ජිවත් වීමේ අයිතිය. රජයක් පවතින්නේ ජනතාව ආරක්ෂා කිරිමටයි. ඒ් නිසා තමයි ඉතිහාසයෙන් රජය බිහි වුනේ.

රජය කෙරෙහි විශ්වාසය තැබු ජනතාව දැන් රජය විසින්ම යම් පාවාදීමකට ලක් කර ඇති බව මෙවැනි සිදුවීම් හරහා තහවුරු වෙනවා. රජයේ වගකීම හා යුතුකම ජනතාව ආරක්ෂා කිරීම.

ස්වාභාවික හෝ වසංගත ත්ත්වයකදී ජනතාව ආරක්ෂා කරන්න ඔවුන් බැඳි සිටිනවා. නමුත් එය ඉටු වෙන බවක් මෙහිදි පෙනෙන්නට නැහැ.

අපි 1995 දි සාම මණ්ඩලය ආරම්භ කළේ රජයට උදව් කරන්න. අපි තාමත් ඉන්නේ පුලුවන් තරම් රජයට උදව් කරන්න. අපි රජය විශ්වාස කරනවා.

නමුත් ඔවුන් අපේ විශ්වාසය පාවා දෙනවනම් රටකට එය හොඳ දෙයක් නෙමේ.  අපේ ජනතාව මේ රජය බලයට ගෙන ආවේ ශක්තිමත් ආණ්ඩුවක් ඔිනේ නිසා. ශක්තිමත් ආණ්ඩුවක් කියන්නේ නීතියක් අනුව, පිලිවෙලක් අනුව පාලනය කරන රටක්.

මෙහිදි මාධ්‍ය ඇමතූ මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතා,

දේශපාලන සිරකරුවෙක් විදිහට, වධහිංසනයට ලක් වු පුද්ගලයෙක් ලෙස අද මා පෙනී ඉන්නේ. දේශපාලන සිරකරුවෙක් ලෙස බන්ධනාගාර කිහිපයක අත්දැකීම් මම ලබලා තියෙනවා. එය මා අද සලකන්නේ යම් කිසි අධ්‍යයනයක් හැටියට.

කොවිඩ් 19 වසංගතය මැද ඉන් සුවපත් වීම සඳහා ගන්නා වු ක්‍රියා මාර්ග අතරේ මානව හිමිකම් දෙස විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක තමා මෙවර ජාත්‍යණ්තර මානව හිමිකම් දිනයේ තේමාව වෙලා තියෙන්නේ.

මෙය ලංකාවට විශේෂයෙන්ම අදාලයි. කොරෝනා පළමු රැල්ලේ ඉඳන්ම ලංකාවේ කොරෝනා මර්ධන කටයුතු සිදුවුණේ ලෝකයේ වෙනත් රටවල කොරෝනා මර්ධනය සිදු වු හැටියට නෙමේ. ලෝකයේ වෙනත් රටවල පරික්ෂණ පිට පරික්ෂණ කරද්දි අපේ කළේ හඹා ගොස් රෝගීනව අල්ලා නිරෝධායනයට පටවන එකයි කලේ. අපි එදා ඉඳන්ම පෙන්වා දුන්නේ මේක තිරසර ක්‍රියාවලියක් නොවේ. මෙයින් මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා.

රෝගීන්ගේ රෝගී අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙනවා. ඒ්කේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ මේ සමාජයේ මිනිස්සු තුල කොවිඩ් 19 සම්බන්ධව බොහෝම අපකිර්තීමත් හැඟිමක් ඇති කර ගන්නවා. ඊට පස්සේ මිනිස්සු හැංගෙන්න උත්සහ කරනවා.

අාසාදිතයින් හැංගිලා තවත් අයට බෝ කරනවා කියලා පෙන්නලා දුන්නත් අපිට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් තිබුණේ නැහැ. ඒ්කේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් දෙවැනි රැල්ලක් පැමිණ තිබෙනවා. කොහේවත් රටක කොවිඩ් ආසාදිත පුද්ගලයින් හෝ නිරෝධායනයට ලක් වෙන පුද්ගලයින් ඝාතනය කළේ නැහැ. නමුත් ලංකාවේ මහර බන්ධනාගාරයේත් බෝගම්බර බන්ධනාගාරයේත් එසේ සිදු වුණා.  මේ ඝාතන සංස්කෘතිය අවසන් වෙන්න ඔිනේ.

ඉන්ෆොම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රයේ උදය කලුපතිරණ මහතා මාධ්‍ය අමතමින් මෙසේ පැවසුහ.

ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා වන රටක සිරකරුවන්ට හා සැකකරුවන්ට දැඩි ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් ලංකාවේ ඒ් තත්ත්වය දැන් නැති වෙලා ගිහින්.

නමුත් රජය පුරවැසියාගේ අයිතිවාසිකම්, ජිවිතය ආරක්ෂා කරන්න බැඳිලා තියෙනවා. එහිදි අප විශ්වාස කරන්නේ කාවද යන දරුණු ගැටලුව පැන නගිනවා. එදා රජය මේ රැඳවියන්ගේ මෘතදේහ ආදාහනය කරන්න උත්සහ කළ අවස්ථාවේ අපේ සහෝදර නීතීඥවරු පිරිසක් අධිකරණයට කරුණු දක්වලා එදා ඒය වළක්වාගත්තේ නැති නම් අද අපට කථා කරන්න දෙයක් මෙතැන ඉතුරු වෙන්නේ නැහැ.

මේ නීතිඥවරුන්ගේ උත්සහය නිසා තමා නීතිපති දෙපාර්ත‌මේන්තුව මැදිහත් වුනේ. ඒ් අනුව පංච පුද්ගල කමිටුවක් පත් කළා. එයට ගිනි අවි පිලිබඳ විශේෂඥයෙකුත් ඇතුල් කළා. එය සාධනීය ලක්ෂණයක් කියලා මම හිතනවා.

නමුත් මෙහිදි බොහෝ මාධ්‍ය රජය ආරක්ෂා කළ විනා ජනතාවගේ ප්‍රශ්නය දෙස බැලුවේ නැහැ. ඉතාම සීමිත මාධ්‍ය කිහිපයක් පමණයි එය නිවැරදිව වාර්තා කළේ. මෙහිදි මාධ්‍ය මාධ්‍යයේ වගකීම හරියට ඉටු කළේ නැහැ.

මානව හිමිකම් ක්‍රියාකාරිනී අමිතා ප්‍රියන්ති මහත්මිය

මහර සිද්ධිය එකවර සිදු වු හුදකලා සිද්ධියක් හැටියට මම දකින්නේ නැහැ. මේක අවුරුදු කිහිපයක් පුරා මේ රටේ ඇති වෙච්ච නීති විරෝධි ඝාතන සම්බන්ධයෙන් ඇති වු තවත් ප්‍රතිඵලයක් ලෙස මම දකින්නේ. අතීතයේ පටන් මේ බන්ධනාගාර වල සිදු වු සිද්ධීන් වලට සාධාරණය ක් ඉටු වෙනවා අපි දැක්කේ නැහැ. යුක්තිය ඉටුවෙන්න අවුරුදු ගාණක් යනවා. මේවාට යුක්තිය ඉටු කරන ආයතන වල ක්‍රියාකාරීත්වය අක්‍රීය තත්ත්වයට පත් වෙලා තියෙනවා.

ඉන් සමාජයට ගිය පණිවිඩය වුවේ ඔිනෑම අපරාධයක් කරලා නිදහසේ ඉන්න පුලුවන් කියන එකයි. සමහර පවුල් මේ යුක්තිය ලබා ගන්න ගිහින් වසර කිහිපයක් යනවිට තනිවෙනවා. තවත් සමහර වෙලාවට පවුලේ අයටත් ඒ්වා මඟ හැරිලා ගිහින් නඩු නවතිනවා. මේ රටේ විශාල ලෙස නඩු ප්‍රමාදයක් තියෙනවා. ඒ් විමසන නඩු වලිනුත් වැරදිකරුවන් වන්නේ 1-5% අතර ප්‍රමාණයක්.

රයිට්ස් නව් මානව හිමිකම් සංවිධානයේ නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා,

අපිට අද මානව හිමිකම් දිනය සමරනවා වෙනුවට මානව හිමිකම් කඩ කිරීම්, මරණ ගැන අද අපිට කථා කරන්න සිදු වෙලා තියෙන්නේ. බන්ධනාගාර වැනි දේවල් රටේ බිහි වන්නේ රටක ප්‍රශ්න වලට විසඳුම් සෙවීමටයි. නමුත් අපේ සිදුව තිබෙන්නේ බන්ධනාගාර පමණක් නොව පොලිසි වැනි ආයතනද එක්තරා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.

අපේ බන්ධනාගාර වල තත්ත්වය අවම වශයෙන් ජාත්‍යන්තර ප්‍රමීතින් වලටවත් නැහැ. අධික තදබදයක් තියෙනවා. ඒ් වගේම හරියට සෞඛ්‍ය පහසුකම් නැහැ. මේ පිලිබඳ අපි වරින් වර රජයට මතක් කරලා තියෙනවා. ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවත් මේ බන්ධනාගාර වල ත්ත්වය පිලිබඳ අධ්‍යනය කරලා වාර්තාවක් එළිදක්වලා තියෙනවා. එහි පැහැදිලිවම මේ ගැන සඳහන් කරලා තියෙනවා.

බි.ඩි.යු. ආනන්ද/  අයිරංගී එදිරිසිංහ

Related posts